Sunday, April 20, 2025
Follow Us
දරුවාට උපත දී ඉගෙනීමට රැකියාවට සමුදුන්  අම්මාට කියමි

දරුවන් වදාගෙන හදාගෙන උපාධිය සමත් උන, රැකියාවේ ඉහලටම ගිය අම්මාට මෙන්ම දරුවාට උපත දී ඉගෙනීමට රැකියාවට සමුදුන් අම්මාට කියමි;


මාලුපිණි හතරක් පහක් සමඟ රෑ බත පිසූ අම්මාට මෙන්ම පාං කාලට පරිප්පු හොද්දක් ඒදූ අම්මාට කියමි;
දරු නැළවිලි ගයා හිස අත ගා දරුවා නින්දට දැමූ අම්මාට මෙන්ම දවසේ මෙහෙයෙන් හෙම්බත්ව සිටියදී දරු දඟ වැඩ ඉවසනු නොහී සිඟිති පස්සාපැත්තට ගුටියක් දී දරුවා නින්දට යවා එලිවෙන තුරු ඒගැන හිතමින් හූල්ලන අම්මාට කියමි;
නුඹ නුඹ ගැන ආඩම්බර විය යුතුය,
සතුටු විය යුතුය.
නුඹ නුඹට ගෞරව කල යුතුය,
ප්‍රශංසා කරගත යුතුය.
නුඹ කරන්නෙ නුඹට හැකි උපරිමය බව නැවත නැවත මතක් කරගත යුතුය.
මන්ද,
අම්මා කෙනෙකු ලෙස යලි ඉපදුනු දිනයේ සිට
නුඹට නැති උන නුඹ ගැන
හොඳින්ම දන්නේ
නුඹම පමණ ය !
Copied