මැරෙන්නම හිතෙනවා නම්
අන්තිම හුස්ම ණයට අරගෙන, බිස්කට් දෙක තුනකුත් අතේ ගුලි කරගෙන, ටවුන් එකට යන්න......
ජීවිතේ, ඊළඟ තත්පරේ ගැන පවා, දූවිල්ලක් තරම්වත් බලාපොරොත්තුවක් නැතුව වුනත්, හදවතින් වැඩ කරන පුංචි වලිගේ වනාගෙන දුවගෙන එන ලෝකේ අව්‍යාජම හිනාව දිහා බලන්න....
ගෙයක් දොරක් නැතුව, කන්න බොන්න නැතුව, අම්මා තාත්තා තියා ආදරේට ඔලුව අතගාන්න කෙනෙක් නැතුව.... ඒ තිරිසන්නු කියලා කියන අහිංසක පුංචි මල් කැකුළුවලටත් හිනාවෙන්න පුලුවන්නම්.... ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා ඔයාගෙන්ම එක පාරක් අහලා බලන්න....
පුලුවන් නම්.... ඒ බූල් නැති, ඇටකෝටු පෑදුණු, දුබල ගතකට ඔයාගේ හදවතේ ඉඩක් වෙන් කරලා ගෙදර අරන් එන්න......
එක පාරක් නෑව්වාම, කන්න බොන්න දුන්නාම.... ඔයාගේ උණුනුමට පැනලා ලෝකෙම ලැබුණා තරම් සැනසීමෙන් නිදන පුංචිත්තෙකුගෙන් සරල බවේ මුල්ම පාඩම ඉගෙන ගන්න.....
බෙහෙත් දීලා, විටමින් දීලා, බෝල ගෙඩිය වගේ ලස්සනට පාට වැටිලා එයා හැදිලා එනකොට....
අනේ මේ ඔයා පාරෙන් ගෙනාපු පැටියා නේද? ගේන කොට නම් කොහොමද හිටියේ. දැන් බලන්නකෝ ලස්සන! ඔයාට පින් ඉතින් ආත්ම ගාණකට!
කියලා අනිත් අය කියනකොට....
හදවත පිරෙන්න ලැබෙන නිහතමානී ආඩම්බරයේ සතුට විඳින්න...
එයා ලෙඩ වෙනකොට දිවා රෑ නොබලා ළඟින් නොහෙල්ලී, එලාම් තියාගෙන බේත් වේල් දීලා බලාගනිද්දී.... ජීවිතේට වගකීමක් දැනෙයි.
මට මොනවාහරි වුනොත් මගෙ පැටියා බලාගන්නේ කවුද?
ඔයාගේ ජීවිතේට නොදැනුවත්වම හයිය අරටුවක් මැවුණු හැටි....
ඒ අරුමය විඳින්න.....
ජීවිතේ කාත් කවුරුත් නෑ කියලා ආයේ ආයේම දැනෙද්දී.... සල්ලි, ලස්සන ළඟ බැඳීම් මැනෙද්දී, අම්මා, තාත්තාවත් තමන්ට නැති වෙද්දී.... ඒ බැන්නත්, ගැහුවත් ළඟ රැඳෙන වචන නැති ආදරේ.... ඔයාගේ හොඳම සවන්දෙන්නා, හොඳම ආරක්ෂකයා, හොඳම යාලුවා වෙන හැටි, ඔය කොයි රෝමියෝත් ජුලියටුත් දෙවෙනි වෙන්න ආදරේ දෙන හැටි බලන්න....
ඉතින් ආයේ කවදාවත් නොහිතේවි ඔයාට මැරෙන්න.....
මානසික පීඩනේට වෙන විසඳුම් නෑ.... තෙත හොම්බකුයි, ආදරේ පිරුණු බෝල ඇස් දෙකකුයි ඇරෙන්න....