තරුණ යුවලක් පවුල් උපදේශකයකු මුණ ගැහෙන්න එනවා. මේ යුවල එකිනෙකාට චෝදනා කරගන්නවා.
තමන් බලාපොරොත්තුවෙන ආදරය සහ ගෞරවය නොලැබෙන නිසා එකිනෙකා නොරුස්සනා මට්ටමට තමන් පත්වෙලා ඉන්න බවත් නිවසේ නිතර ගැටුම් ඇති වෙන බවත් මොවුන් දෙදෙනා කියනවා.
මනෝවිද්‍යා උපදේශකවරයාව මුණ ගැසුණු සැසි කීපයකදී, දීර්ඝ වශයෙන් විස්තර කතාබහ වෙනවා.
"කාන්තාවක් තමාගේ සැමියාට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕන. මම දැක්කා මගේ අම්මා කොහොමද තාත්තට ගෞරව කරන්නේ කියලා. නමුත් මට ඒ ගෞරවය බිරිදගෙන් ලැබෙන්නේ නැහැ". සැමියා කියනවා.
"ගෑනු කෙනෙක් තමන්ගේ සැමියාගේ ආදරය බලාපොරොත්තු වෙනවා. මම ඔහු වෙනුවෙන් කොච්චර දේවල් කළත්, ඔහු මට සලකන්නෙ හරිම නපුරු විදිහට, ඔහු මට ආදරේ නැහැ. මමත් දැක්කා මගේ තාත්තා මගේ අම්මට හොඳට සළකනවා. නමුත් මොහු ඊට හාත්පසින්ම වෙනස්." බිරිඳද කලකිරීමෙන් පිළිතුරු දෙනවා.
"මම සියල්ලට පෙර ඔහු ගැන හිතනවා. ඔහුට හැම වෙලේම ගෞරව කරනවා. නමුත් ඔහු මට සලකන්නේ කොහොමද?" බිරිඳ කියනවා.
"මට උදේ දවස පටන් ගන්න වෙලාවේ ඉඳන්ම මේ කසාද ජීවිතය එපා වෙනවා. මොකටද මෙහෙම කසාදයක්?" සැමියාත් කියනවා.
හොඳයි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න "ඔයාගේ බිරිද ඔයාට ගෞරව කරන්නේ නැහැ කියලා හිතුන පළවෙනි අවස්ථාව නැත්තම් සිදුවීම ඔයාට මතකද?" උපදේශකවරයා සැමියාගේ අහනවා.
"ඔව්. අපි විවාහ වෙලා පලවෙනි සතියේ දී ම මට තේරුනා මෙයාගේ හිතේ මම ගැන ගෞරවයක් නැහැ කියලා."
"මොකක් නිසාද එහෙම හිතුණේ?" උපදේශකවරයා නැවත ඇහුවා.
"උදේ කෑම මේසේදි. එදා අපි ආහාරයට ගත්තෙ පාන්. සාමාන්‍යයෙන් අපේ රටේ සිරිත තමයි අමුත්තෙකුට හරි අපි විශේෂයෙන් ගෞරව කරන කෙනෙකුට කවදාවත් පාන් ගෙඩියේ අවසාන කොටසින් කන්න දෙන්නේ නැහැ. අපි එයාට දෙන්නෙ මුලින්. නමුත් මගේ බිරිඳ මට කපලා දුන්නේ පාන් රාත්තලේ අවසාන කොටස.
මට පුදුම දුකක්, වේදනාවක් ඇතිවුණා. එයාගේ හිතේ මම ගැන පොඩි ගෞරවයක් වත් නැහැ කියලා හිතුනා. ඒත් ඕක කිව්වොත් එයාගේ හිත රිදෙයි කියලා හිතුනා. එයා පස්සේ හරි වෙනස් වෙයිනේ කියලා හිතුවා. ඒත් හැමදාම එහෙමම තමයි. එදා ඉඳන් තමයි මට සැරින් සැරේ හිතෙන්න ගත්තේ මගේ බිරිඳ මට ගෞරව කරන්නැහැ කියලා. උදේ කෑම මේසෙට පාන් ගේන හැම වෙලාවෙ ම මම මේ සිදුවීමට සැරින් සැරේ මුහුණ දෙනවා." සැමියා පිළිතුරු දුන්නා.
සැමියාගේ මේ ප්‍රකාශයෙන් බිරිද ගොඩක් නොසන්සුන් වෙනවා.
"නැහැ නැහැ. ඔයා බොහොම වැරදියට තේරුම් අරන් ඉන්නේ. මගේ රටේ මිනිස්සු තමන් ගොඩක් ගෞරව කරන කෙනාට තමයි පාන් ගෙඩියේ අග කෑල්ල දෙන්නේ. මම පොඩි කාලේ ඉඳලම අපේ ගෙදර හැමදාම පාන් රාත්තලේ අග කෑල්ල ඉල්ලගන්න තරගයක් තිබුණා. මාත් ගොඩක් ආසයි අග කෑල්ල කන්න. ඒත් මගේ රටේ සිරිත් වල හැටියට ඔයාට කරන ගෞරවයක් විදිහට තමයි, මම මගේ ආසාව පැත්තකින් තියලා හැමදාම ඔයාට පාන් රාත්තලේ අග කෑල්ල දුන්නේ.
අනේ මම ඔයාට ගෞරව කරන්න කරපු දේ , ඔයා අගෞරවයක් විදිහට තේරුම් අරන්. " බිරිද අඬමින් පිළිතුරු දුන්නා.
"මම ඒ බවක් දැනෙන හිටියේ නැහැ. මම හිතුවෙ නෑ ඔයා වැඩ කරන්නේ ඔයාලාගේ තියෙන චාරිත්‍ර වාරිත්‍රවල විදිහට කියාලා. මට ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒකෙන් තමයි මේ හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තෙ. මට සමාවෙන්න." සැමියා තමන්ගේ හඬන බිරිඳ ව වැළදගෙන පිළිතුරු දුන්නා.
"ගැටළු ඇතිවෙච්ච මුල් අවස්ථාවේදී ම ඔය දෙන්නා කතා කළා නම්, ඔයා හිතේ තියාගෙන ඉන්නේ නැතුව එක වතාවක් හරි නෝනගෙන් ඇහුවා නම් ඇයි මට හැමදාම පාන් ගෙඩියේ අග කෑල්ල කන්න දෙන්නේ කියලා මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.
දෙන්නගෙ ම හිතේ ආදරේ තිබුණා. දෙන්නගෙම හිතේ ගෞරවය තිබුණා. ඒත් දෙන්නා ඒක ප්‍රකාශ කර ගත්ත විදිහ වෙනස්.
ඒ වගේම අනිත් කෙනා ආදරය, ගෞරවය පෙන්වන විදිහ ගැන තමන්ට හරි අවබෝධයක් නැති වීමත්, එහෙම අපැහැදිලි වෙලාවට, ඒ ගැන කතා කරන්නෙත් නැති වීමත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ. මීට පස්සෙවත් තීරණ වලට එන්න කලින් ගැටළුවක් තියනවා නම් දෙන්නත් එක්ක ටිකක් සාකච්ඡා කරන්න පුරුදු වෙන්න. එහෙම වුනොත් ගොඩක් ප්‍රශ්න නිකම් විසදාගන්න පුළුවන්". උපදේශකවරයා පිළිතුරු දුන්නා.
(අන්තර්ජාලය ආශ්‍රයෙනි)
බාලිකා හේවගේ