අපේ තාත්තට බයිසිකලයක් තිබුණා. තවම තියනවා. ඒක තමයි ලෝකෙ තියන ශක්තිමත්ම බයිසිකලේ. අපි ළමයි පස් දෙනෙක් එක එක කාලෙට ඉස්කෝලෙ එක්ක ගියෙ, කොණ්ඩා කපන්න, ඇඳුම් මස්සවන්න එක්ක ගියෙ, හැඳුනුම්පත්වලට ෆොටෝ ගහන්න ස්ටුඩියෝවට ගියෙ, නේක වැඩවලට ග්‍රාම නිලධාරී මුණගැහෙන්න එක්ක ගියේ ඔය බයිසිකලේ. පොඩිම කාලෙදි ඕකෙ ඉස්සරහ පොල්ලට කොට්ටයක් දාල තමයි අපිව වාඩි කරවන්නෙ. ගමන මැද කඳුවලදි එහෙම තාත්තා බහිනවා. හැබැයි අපට බහින්න දෙන්නෙ නෑ. අපි උඩින්ම ගිහින් බහින්නෙ ගමන කෙළවරේ.
මම විශ්ව විද්‍යාලෙ යන කාලෙදිත් ගෙදරින් යද්දි බස් එකට ගියේ ඔය බයිසිකලේ.
අපේ ගෙදර හදද්දි සිමෙන්ති කොට්ට පවා බයිසිකලේ ආවලු. දර ලිපට දර මිටි, පස්සෙ කාලෙක ගෑස් ටැංකි හෙමත් ආවේ ඒකෙ. ඒ දවස්‌වල බයිසිකලේ වටිනා වාහනයක්. සියදෝරිස්ගෙ "බයිසිකලේ" ගැන කතාවත් ඕව එක්ක පාසලේදී හිතට කාවැදුණා.
මේ විදියට බයිසිකලේ වටිනා වාහනයක් වුණේ තාත්තගෙ කකුල් දෙක නිසා කියලා හිතෙන්න ගත්තෙ අපි ටිකක් ලොකු වෙද්දි. චේන් එකකින් දැතිරෝද හරහා බලය සම්ප්‍රේෂණය වන එකේ මැජික් එක බල ගැන්වුණේ පැඩල් දෙක උඩ තිබුණ කකුල් දෙකෙන්. මේ පිස්ටන දෙක වැඩ කරද්දි දුනු බැහැපු, කවර පිට කවර දාපු සීට් එක තාලෙකට නංවන හඬ අහගෙන වාඩිවෙලා හිටපු අපිව අරගෙන මේ යන්තරේ අනාගතේට ගියා. අපි ලොකු පාසල්වලට යද්දි ඉහළට ඉගෙන ගනිද්දි, තනතුරු තානාන්තර ලබද්දි, රටේ මිනිස්සු පින් පමුණුවන රැකියාවලට පත් වෙද්දි තාත්තා සන්තෝස වුණා. අපි බයිසිකලෙන් මෝටර් සයිකලේට, ඒකෙන් මෝටර් රථයට මාරු වෙනකොට තාත්තා සන්තෝස වුණා. තාත්තාට බයිසිකල් නොපැද වාඩි වෙලා යන්න සීට් එකක් තියන වාහනයක් ගෙනාපු එකට අපි සතුටු වුණා. දැන් තාත්තාට බයිසිකල් පදින්න බෑ. ගමනක් යන්නෙ අපි එක්ක වාහනේක විතරයි. ඒ වාහන අහසින් වැටුණෙ නෑ. පිනට පහළ වුණෙ නෑ. තාත්තා කකුල් ගෙවෙනකම් බයිසිකල් පැදල හදාපු, අපේ අතපයවලට තාත්තා දීපු හයියෙන් උපයාපු දහඩිය මහන්සිය තමයි ඒ දෝලාවල් තැනුවෙ.
මේ පින්තූරෙ තියෙන්නෙ තාත්තගෙ බයිසිකලේ නෙමෙයි. මම ගත්ත බයිසිකලේ. මගේ දරුවන්ගෙ තාත්තගෙ බයිසිකලේ. මේක ගත්තෙ මට ව්‍යායාමයට, බඩ බහින්න, තෙල් මන්ද පුච්චන්න නෙමෙයි. මට ඒකට විදි ඕනෑ තරම් තියනවා. අපේ බඩ බස්සන්න කවුරුවත් රට බංකොලොත් කරන්න මහන්සි වුණේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. රුපියල් පහළොස් දාහකට අඩුවෙන් තිබුණ මේක මට ගන්න වුණේ තිස් පන්දාහකට. අද මේකෙ මිල පනස්දාහකට කිට්ටුයි. මම තාත්තාට මේක පෙන්නුවාම තාත්තා සතුටු මූණක් පෙන්නුවා. ඒත් හිතට මොනවා හිතෙන්න ඇතිද?
මම පුළුවන් විදියට මේ වෙලාවෙ පණ ගැටගහගන්නවා. දරු මල්ලො බලාගන්නවා. හැමෝම එහෙමයි. මේ රටේ මැටි රොටී කන්න සිද්ධ වුණත් මිනිස්සු පණ කෙන්ද රැකගනියි. ඒත් පෙරළුණ පිට හොඳයි කියලා ඒකට ජෝගි නටලා, මේවාට හේතුවුණ නරුමයින්ට ආතල් දෙන්න අපට බෑ. තාත්තගෙ දාඩිය මහන්සියට අපහාස කරපු පාපතර හොරුන්ට තවමත් ආවඩන නිවට මිනිස්සු දැනගන්න ඕනැ, කොහේවත් යන පල් හොරෙකුට උඹලා අප්පොච්චි කියාපු පව මේ රටේ දෙමව්පියො ගෙවන්නෙ: හය හතර නොතේරෙන දරුවො , නූපන් දරුවො ගෙවන්නෙ. මේ ෆොටෝ එක දාලා My new ride කියලා ❤ එකක් දාන්න මට බෑ. අපේ හෙට ගැන අපේ මව්පියොත්, අපේ දරුවන්ගෙ හෙට ගැන අපිත්, සසල වුණ හදවතින් ඉන්න වෙලාවක, මේ පොටෝ එකට මම දාන නම වෙන එකක්. යාළුවනේ මේක අපේ තාත්තගෙ බයිසිකලේ නෙමේ.
"තොපේ අප්පොච්චිගෙ බයිසිකලේ".!