Sunday, May 05, 2024
Follow Us
පළවෙනි වතාව

එක් විවාහක යුවලක් හිටියා. මෙයාලා විවාහ වෙලා අවුරුදු විසිපහක් වෙනවා. ඒත්, ඒ අවුරුදු විසිපහටම මේ දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නැහැ.


ඉතිං.., මේ මහත්තයගෙන් එයාගේ යාළුවෙක් මෙහෙම ඇහුවා.
"ඒක නම් පුදුමයක්..! ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි. කොහොමද අවුරුදු විසිපහක් කිසිම විදිහක රණ්ඩුවක් නැතුව විවාහ ජීවිතයක් ගතකරන්නේ...?"
ඉතිං තමන්ගේ යාළුවා ඇහුව ප්‍රශ්නෙට මහත්තයා මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා.
"මමයි, මගේ නෝනයි විවාහ වෙලා මධුසමය ගතකරන්න ගිය හෝටලේ ලොකූ පිට්ටනියක් තිබුණා. ඉතිං.., හෝටලේ නවාතැන් ගන්න ඕන කෙනෙක්ට අශ්වයා පිටේ යන්න පුළුවන් විදිහට පහසුකම් සලසලා තිබුණා. ඒ හිටිය අශ්වයොත් මිල අධිකම හොඳම වර්ගයේ සත්තු.
මගේ නෝන එක අශ්වයෙක්ගෙ පිටේ නැගලා ටික දුරක් ගියා. ඒත්, අවාසනාවට එයා ලිස්සලා වැටුණා. ඒ වෙලාවෙදි එයා අශ්වයගෙ පිටට තට්ටුවක් දාල කිව්වා.., 'කමක් නැහැ..! මේ ඉතිං ඔයාගෙ පළවෙනි වතාවනේ.' කියලා.
ඊට පස්සෙ එයා ආයෙමත් අශ්වයගෙ පිටට නැග්ගා. බොහොම ටික දුරයි යන්න පුළුවන් වුණේ. දෙවැනි සැරේටත් එයා අශ්වයා පිටින් වැටුණා. ඒ වෙලාවෙත් මගේ නෝනා කළේ අශ්වයාගෙ පිටට තට්ටු කරලා.., 'කමක් නැහැ..! මේ ඔයාගෙ දෙවනි පාරනේ.' කියලා කිව්ව එක.
එයාගෙ ඉවසීම ගැන මට පුදුම හිතුණා. ආඩම්බර හිතුණා. කොහොම හරි එයා ආයෙමත් අශ්වය පිටින් යන්න ගිහින්, තුන් වෙනි පාරටත් වැටුණා. වැටුණ ගමන් ආපහු හිටගත්ත එයා, අශ්වයගෙ ඔළුවටම වෙඩි තිබ්බා. මට මොකුත් හිතාගන්න බැරි වුණා.
ඉතිං මම..,
'ඔයාට පිස්සු හැදීගෙන එනවද..? ඔයා මැරුවෙ අශ්වයෙක්ව. ඒත්, ලක්ෂ ගාණක් වටින එකෙක්ව. මොළේ හොඳ නැද්ද...?'
කියල එයාට සැරෙන් කිව්වා.
එයා මං දිහා රවලා බලල, එක දෙයයි කිව්වේ.
'කමක් නැහැ..! මේ ඔයාගේ පළවෙනි වතාව.!' "