Sunday, May 05, 2024
Follow Us
තමන්ගේ ජීවිතයත් හොයාගන්න

මීට අවුරුදු බර ගානකට කලින් මම හිටියේ කොළඹ. මට හිටියා මම ආදරය කරපු ගෑණු ළමයෙක්. මම හිතන්නේ මම අවසාන වතාවට ආදරය කරපු ගෑණු ළමයා. අවුරුදු බර ගානක් ගෙවුණත් මම ඊට පස්සේ ආදරය කළේ නෑ. ඒක වෙනම කතාවක්..


මම මගේ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් ගියා. ගෑණු ළමයා තරහා වුණා, එයාව එක්කං ගියේ නැහැයි කියලා. ඉතිං තකහනියේම නිවාඩුවක් දාලා බලහත්කාරයෙන්ම මම එයැයිව ඇවිදින්න එක්කං යනව. මට ඕනේ වුණා, එයැයිව කොහොමහරි යාළු කරවගන්න. අපි ඇවිදින්න ගියේ වෙට්ලන්ට් පාක් එකට. මම ඊට පෙර එහේ ගිහිං තිබුණා. නමුත් මම එදා එයැත් එක්ක ගියායින් පස්සේ වෙට්ලන්ට් පාක් එකට ගිහිං නෑ. ඒකත් වෙනම කතාවක්..
වෙට්ලන්ට් පාක් එකේ ඇවිදින්න ලැබුණු එක මට අලුත්ම අත්දැකීමක් වුණා. මම එයැයිව තැන තැන හිට්ටවලා ෆොටෝස් ගන්නව. ආපහු එයැයිට පෙන්වනව. (තාමත් ඒවා තියෙනව ; මම තාමත් ඒවා බලනව) වෙට්ලන්ට් පාක් එකේදි මම ගොඩක්ම කළේ මගේ කැමරාවේ කෝණ වලට එයාව ගන්න එකයි. ඒ හැරුණාම එයාව සිප ගන්න එක, කණ උඩින් මලක් ගහලා බලන එක, කොණ්ඩේ අවුල් කරන එක, පිටිපස්සෙන් ගිහිං තල්ලු කරලා බදාගන්නව වගේ වැඩත් සිද්ධ වුණා. ඒ හැම තැනකම මගේ කැමරාව ඔන් එකේ තිබුණා.
අදටත් මගේ සමහර වීඩියෝ ක්ලිප් බලනකොට මට ඒ එක වීඩියෝ ක්ලිප් එහෙක එක දෙයක් පේනව. මම වගේ දහ ගුණයක් විතර මහත ගෑණු ළමයෙක්, කෙට්ටු පිරිමි ළමයෙක් එක්ක මගේ කැමරාවේ ෆ්‍රේම් එක වහගෙන තප්පර පහ හයක් විතර ඉන්න හැසිරීමක් තියෙනව.
ඒ තප්පර පහ හය ඇතුළේ ඒ දෙන්නාගේ හැසිරීම ඇත්තටම මාරම ප්‍රේමණීයයි. ඒක හරි ලස්සනයි. අවුරුදු කිහිපයක් ගෙවිලා ගියත්, මම මගේ කතාවේදි අත්නොවිඳින ප්‍රේමණීය පහන් හැඟීමක් ඒ තප්පර පහ හයේ අනුන්ගේ ප්‍රේම කතාවක, ප්‍රේමණීය හැසිරීම් වල අහඹු කාච සටහනකින් අත්විඳිනව. ❤
මම කල්පනා කළා, ඇයි මම ඒක ඒ වෙලාවේ දැක්කේ නැත්තේ කියලා. කොහොමද මට ඒ වගේ දෙයක් මිස් වුණේ..? සමහරවිට මම අවුරුදු ගානකට කලින් සිද්ධ වෙච්ච ඒ දේ දකින්නත් ඇති. ඒත් ඒකට මම කිසිම රියැක්ට් එකක් කළේ නැත්තේ ඇයි?
මම විශේෂ දේවල් ගැන සටහන් තියනව. ඒක මගේ පුරුද්දක්.. ඇයි මම ඒ වගේ දෙයක් සටහන් නොකළේ.. ඒ ගෑණු ළමයා, ඒ පිරිමි ළමයට වඩා අසාමාන්‍යය විදියට මහතයි. ඒක දකින ඕනේම කෙනෙකුට පේනව. ඇයි ඒ වගේ අසාමාන්‍යය දෙයක් ගැන මට කිසිම විදියක රියැක්ට් එකක් නොතිබුණේ කියලා මම කල්පනා කළා.
ඒකට අවසානෙට ලැබුණේ මට මේ වගේ උත්තරයක්..
අපි අපේ ජීවිත වල මේ මොහොතේ පවත්නා සිද්ධිය, විඳිමින් ඉන්නවානම්, අපිටම කියලා අන්‍යයවූ අපේම ලෝකයක් තියෙනවානම්, ඒ ලෝකයේ අපි සංතෝෂයෙන් ඉන්නවානම්, අපිට අපේ මොහොතවල් තුළ ලැබිය යුතු සියල්ලම ලැබෙනවානම්, අපිට අපේ මොහොතවල් තුළ උපරිමයෙන් හැසිරිය හැකිනම් අපිට වෙලාවක් ලැබෙන්නේ නෑ අනෙක් දේවල් ගැන සොයා බලන්න.
අපිට එහායින් මොන දේ සිද්ධ වුවත්, අපි ඒ දිහා බලන්නේ නෑ. කෙටියෙන් කීවෝත් අනෙක් මිනිස්සු මොන මඟුල කළත් අපිට ප්‍රශ්නයක් නෑ. එයාලා කරන්නේ හොඳ දෙයක්නම්, අපි කවදාවත්ම ඒ දේ අඩුපාඩු හොයන්නේ නෑ. අපි ඒ දේ වෙනුවෙන් අපේ සහයෝගය දක්වනව විතරයි.
එදා වෙට්ලන්ට් පාක් එකේදි මට සිතාරව මුණ ගැහෙනව. සිතාර කියන්නේ, මගේ ආදර ජර්නියේදි මට ජීවිතේ එකම එක වතාවක් මුණ ගැහුණු මනුස්සයෙක්. අද මගේ ආදරය ලබපු මනුස්සයා මගේ ගාව නෑ. නමුත් ජීවිතේ එක වතාවක් මුණ ගැහුණු සිතාර මගේ වසැප් එකේ තවම ඉන්නව. මේක කියවන උඹලට සමහරවිට පුදුම ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා.
සිතාර ආවේ, එයාගේ ගෑණු ළමයත් එක්ක මම වගේම ගමනක්. මම මගේ ගෑණු ළමයාගේ ෆොටෝස් ගන්න වෙලාවක අහඹුවෙන් වගේ සිතාරගෙයි එයාගේ ගෑණු ළමයාගෙයි ෆොටෝස් එකක් වැදුණා. සිතාර මාව මඟ ඇරලා ගියා. ඒත් ඒ වෙනකොට සිතාරගෙයි, ගෑණු ළමයාගෙයි ෆොටෝස් දෙකක්ම වැදිලා ඉවරයි.
මම සිතාරට කතා කළා. මට පින්තූර දෙක ඩිලීට් කරන්න ලෝබ හිතුණා. සිතාරගේ ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා. මම සිතාරට පසු දවසකදි ඒ දෙක සංස්කරණය කරලා යවනව. සිතාරගෙයි මගෙයි යාළුකමේ සිද්ධිය එපමණයි.
සිතාර අද වෙනකන් දන්නේ නෑ, මම එදා මගේ ආදර කතාව ඉවර කළාය කියලා. සහ ඒක මගේ ජීවිතයේ අවසාන ආදර කතාව වුණාය කියලා. මොකද මම සිතාරා අදටත් මගේ ගෑණු ළමයා ගැන අහනකොට "එයා හොඳින් ඉන්නව මචං" කියන්න හිත හදාගත්තා.
ඒත් සිතාර මට, "මචං උඹ බොන්න එපා.. මගෙත් බඩේ ගල් ඇවිදින්" කියන්න තරම් අයිතියක් දරන යාළුකමක් ඌගේ පැත්තෙන් හදාගෙන ඉන්නව. ඒක හරිම අපූරුයි. ❤
මම කියාගෙන ආවේ, ඔය මුකුත්ම නෙමෙයි.
ඇත්තටම අපි අපේ සංතෝෂය භුක්ති විඳින දවසට අනෙක් මිනිස්සු කැතද, ලස්සන ද, මහත ද කෙට්ටු ද උස ද කොට ද කියලා අපිට හොයන්න වෙලාවක් නැති වෙනව. එදාට අපි අනෙක් මිනිස්සුන්ට එයාලා හිමි කරගත්තු හෝ තෝරාගත් ජීවිත වලට ආශිර්වාද කරනව විතරයි. අපි එයාලට මිනිස්සු විදියට ගෞරව කරනවා විතරයි.
ඉතිං අනෙක් මිනිස්සු දකිනකොට, ඇහේ කටු අනිනවා වගේ දැනෙනවානම් මම ඔබට යෝජනා කරනව ඉක්මනටම තමන්ගේ සංතෝෂයත්, තමන්ගේ ජීවිතයත් හොයාගන්න. ඒකට ආදරය කරන්න පටන් ගන්න. එතැකොට තව දුරටත් අපිට අනෙක් දේවල් ගැන හොයන්න, ඒ පිළිබඳව සාංකා ඇති කරගන්න වෙලාවක් නැතිවෙනව. ? ?
Copied