Wednesday, November 27, 2024
Follow Us
දරු කැක්කුම

හර්ෂි සේනාධීර

හවස් වරුවේ ගේ අතු ගගා හිටපු මේධා , ගේට්ටුවෙන් ඇතුල් වෙන අල්ලපු ගෙදර පාඨලී ව දැක්කේ අහම්බෙන් වගේ. කඩිමුඩියේම කොස්ස බිත්තියට හේත්තු කරපු මේධා, කෑම මේසයට වෙලා ඉස්කෝලේ ගෙදර වැඩ කර කර හිටපු රනුලිව කාමරේට ඇදගෙන ආවා

” මම කියනකං එළියට එන්න එපා. සද්ද නොකර ඉන්න “

තරවටු ස්වරයකින් එහෙම කියලා මේධා කාමරයෙන් එලියට ආවේ දොරත් බාගෙට වහගෙන. ඇය එනකොට පාඨලී හිටියේ දොරකොඩ

” කෝ අක්කේ රනුලි ? “

පාඨලී ව දැක්කම හිතට නැගුන කෝපය යටපත් කරගත්ත මේධා මූනට නගා ගත්තේ බොරු හිනාවක්

” අනේ කෙල්ල ගෙදර වැඩ කර කර ඉඳලා දැන් ටිකකට කලින් නිදාගන්න ගියානේ නංගි “

” ඉස්කොලේ ගිහින් ඇවිල්ලා මහන්සි ඇති නේද එයාට. මම දවල් එන්නත් හදලා ආවේ නෑ . අපරාදේ “

” ඒකනේ. ස්කූල් වෑන් එක එනකන් යාලුවොත් එක්ක සෙල්ලම් කරනවා නේ.ගෙදර ආවට පස්සෙ එයාට හරිම මහන්සියි පාඨලී .මගේ කටේ බලයට තමයි ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ ටික කරන්නෙත් රෑ වෙන්න කලින් “

බලාගෙන ඉද්දිම පාඨලීගේ මුහුණ මැලවිලා යන හැටි දැක්කම මේධාගේ යටි හිතට දැනුනේ සතුටක්. පාඨලී ගේට්ටුවෙන් පිට වෙලා යනකොට මේධා සැනසුම් සුසුම් හෙළුවා

” ඔයා එහෙම කරපු එක හරි නැහැ නේද මේධා ? පාඨලී අපේ දරුවාට හානියක් කරන්නේ නැහැ නේ “

රෑ කෑම මේසයේදී සුදත් කිව්වේ මේධා කරපු වැඩේ අනුමත නොකරන ගමන්

” එයාට ළමයි ඕන නම් ළමයෙක් හදා ගත්ත නම් ඉවරනේ .මොකටද හැමදාම අනුන්ගේ ළමයිම නලවන්න එන්නෙ ? ගීතා අක්කා මට කිව්වා පාඨලීට ළමයි හදන්න බැරි කතාවකුත් .සෑහෙන කාලයක් බෙහෙත් කරලා දැන් ඔය නතර කරලා ලු ඉන්නේ “

” ඉතිං බෙහෙත් කරන්න ඇත්තේ එයාලට ළමයි ඕන නිසා වෙන්න ඇති නේ.ඒ කියන්නේ එයා ළමයින්ට ආදරේ ඇති .අනුන්ගේ දරුවන්ට තමන්ගේ දරුවෙකුට වගේ ආදරය කරන එකම මොන තරම් දෙයක්ද මේධා ? “

සුදත් කතා කලේ සන්සුන් හඬකින්. ඒත් ඒ වචන මේධාව තව තවත් කෝපයට පත් කළා

 

” අනේ මේ ? එක එක ගෑණුන්ට හුරතල් කරන්න නෙමෙයි නේ සුදත් මගේ ළමයා ඉන්නේ .එයා හැමදාම හවසට මෙහේ ඇවිල්ල ළමයා එක්ක හුරතල් වෙන්න තියා ගත්තාම මේ ළමයා ඉස්කෝලේ වැඩක්වත් කරන්නේ කොහොමද ? “

මේධාට කරුණු කාරණා තේරුම් කර දෙන එක එතරම් පහසු නොවන බව තේරුම් ගත්ත නිසා සුදත් නිහඬ වුණා. ඒත් හවස සිද්ධ වෙලා තියෙන දේ ගැන ඔහුගේ හිතේ ඉතිරි වුණේ නොරිස්සුමක් විතරයි

” රනුලි පැටියා. ඔයා එනකම් මම හිටියේ “

පහුවදා උදේ සුදත් රනුලිව ඉස්කෝලේ එක්කගෙන යන්න පාරට බැස්සම පාඨලී එයාගේ ගෙදර ගේට්ටුව ඉස්සරහ පුංචි පාර්සලයක් අතේ තියාගෙන නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා. රනුලි පාඨලී ගාවට දුවගෙන ගියේ කඩිමුඩියේ

” මොනවද පාඨලී ඔය ? “

සුදත්ගේ දෑස් වල තිබුනේ කුතුහලයක්

” ඊයේ රෑ හදපු කිරි ටොෆි වගයක් සුදත් අයියේ. මම ඉතින් මොනව හැදුවත් රනුලිට කොටසක් වෙන් කරනවා නේ “

පාඨලී කතා කරන්නෙ රනුලි ගේ කොණ්ඩ කරල අගිස්සේ බැඳලා තියෙන රිබන් පටිය හදන ගමන්

” ඕවට මොනවා හරි කලවං කරලා තියෙනවද දන්නෙත් නැහැ .එක එක ගෑණු පාර අයිනේ ඉඳලා දෙන ඒව කන්න පිස්සුද ළමයෝ ? ආව දෙන්කෝ තාත්තා.එයා තමයි ඔයාවත් නරක් කරන්නේ”

රනුලි ඉස්කෝලේ ඇරිලා ආවට පස්සෙ පාඨලීගේ තෑග්ග ගැන කිව්වම මේධා කෝපාවිෂ්ට වුණා

” පාඨලී නැන්දව අපි දන්නවනේ අම්මේ .මම ඒ කිරි ටොෆී යාළුවෝ එක්ක බෙදාගෙන කෑවෙ.ටීචර්ටත් දුන්නා “

රනුලි කිව්වේ කට උල් කරමින්

” පණ්ඩිතකම් කතා නොකර ඉන්නවා ළමයො. මීට පස්සේ එහෙම ඔය එක එක්කෙනා දෙන ඒව කාල අහු උනොත් එහෙම මම බලාගන්නම් “

මේධා දත්මිටි කමින් බනිනකොට මුහුණ පාත් කරගත්ත රනුලි හෙමින් සීරුවෙ කාමරයට ගියා.

බොහෝමයක් දවස් වල හවස් වරුවල රසකැවිල්ලක් හෝ සෙල්ලම් බඩුවක් අරගෙන රනුලිව බලන්න එන පාඨලීගේ මග අහුරන්න මේධා එක එක දේවල් කලා

” දුවට ටිකක් සනීප නෑ වගේ පාඨලී .බඩ රිදෙනවා කිව්වා. ඔයා පස්සේ එන්නකෝ “

 

” ඉස්කෝලේ ගෙදර වැඩ කරලා දුව ටිකක් නිදා ගන්න ගියා “

” අද දුවට ඔන්ලයින් පන්තියක් පාඨලී . ඉවර වෙනකොට රෑ වෙනවා “

බලාපොරොත්තු සුන් කර ගෙන ආපහු ගෙදර එන පාඨලීට මේධා කියන්නේ බොරු කියලා ටික දවසක් යනකොට තේරුණා . ඒත් පාඨලී මේධාට කිසිවක්ම කියන්න ගියේ නැහැ

” පාඨලී . පාඨලී “

දවසක් උදේ පාන්දර පාඨලී මිදුල අතු ගගා ඉන්නකොට රනුලිවත් අතින් අල්ලගත්ත සුදත් ගේට්ටුව ගාව හිටියා .රනුලිව දැක්ක ගමන් සතුට ඉහවහා ගිය පාඨලී ගේට්ටුව ගාවට දුවගෙන ගියා

” අනේ නංගී තරහ නැතුව අපේ කෙල්ලව පැය දෙක තුනකට බලාගන්න පුලුවන්ද ? “

සුදත් ඇහුවේ බැගෑපත්ව

” අනේ ඕක මොකක්ද අයියේ ? පැය දෙක තුනක් නෙමෙයි මුළු දවසම උනත් මං එයාව මෙයාව බලාගන්නං “

” ඊයේ රෑ අපිට පොඩි කරදරයක් උනානේ නංගී . අපේ මේධා උඩ කබඩ් එකක් අස්කරන්න පුටුවක් උඩට නැගලා. ඒකෙන් බිමට වැටුණා “

” දෙයියනේ .දැන් මේධා අක්කා කෝ ? “

” ඉස්පිරිතාලෙ නවත්ත ගත්තා . කකුලේ අස්ථියක් බිඳිලා කියලා තමයි දොස්තරලා කියන්නේ . ටිකට් කැපුවට පස්සේ ගෙදර එක්කන් ඇවිල්ලා හොද වෙද මහත්තයෙකුට පෙන්නන්න වෙනවා “

මේධාට හදිසියේම වුන අනතුර ගැන පාඨලී හදවතින්ම කම්පා වුණා. රනුලි කියන්නේ තමන් සතු වගකීමක් කියලා හිතාගෙන මේධා රෝහල් ගත වෙලා හිටපු දින ගණනාවම පාඨලී රනුලිව බලාගත්තේ තමන්ගේම දරුවෙක්ව බලාගන්නවා වගේ ආදරයකින් . රනුලිව ඉස්කෝලෙ එක්කගෙන යන වගකීමත් බාර ගත්ත පාඨලී මේධාට යවන්න අවශ්‍ය කෑම බීම හදල දෙන වගකීමක් බාර ගත්තා

සම්පූර්ණයෙන්ම වෙලන ලද කකුලක් එක්ක මේධා ගෙදර ආවේ සති දෙකකට විතර පස්සේ.

” අක්කා කන්න ආස ඕන දෙයක් කියන්න මම හදලා ගෙනල්ලා දෙන්නම් “

පහුගිය දවස් වල මේධා කරපු නපුරුකම් අමතක කරල දාල පාඨලී නිතර නිතර ම මේධාගෙ උදව්වට ආවේ මේධාගේම සහෝදරියක් වගේ

” මෙහෙන් වාඩි වෙන්නකෝ පාඨලී “

දින ගණනාවක්ම ඇඳට වෙලාම ඉන්න සිද්ද උන නිසා මේධා හිටියේ හිතින් වගේම ගතිනුත් විඩාවට පත් වෙලා

” කෙල්ලගෙ වාර විභාග තිබිලානේ ගිය සතියේ. කලින් පාරට වඩා ලකුණු වැඩියි සෑහෙන්න “

මේධා එහෙම කියනකොට පාඨලිගේ මූණේ හිනා මලක් පිපුණා

” මම නැති දවස් ටිකේ මගේ කෙල්ලව ඇහැක් වගේ බලා ගත්තට ඔයාට පින් නංගි “

” මම තවම අම්මා කෙනෙක් නොවුනට මේ ලෝකේ හැම දරුවෙක්ම මට මගේ දරුවෙක් වගේ තමයි අක්කේ . මමයි ගයානුයි තාමත් දරුවෙක් ගැන බලාපොරොත්තුව අත ඇරගෙන නැහැ . අපේම දරුවෙක් අපි ලඟට එනකං අපි තාමත් බලාගෙන ඉන්නවා .ඒ දේ වෙන්න තියෙන වෙලාවට වෙයි “

පාඨලී කතා කළේ සංසුන්ව .ඇයට සලකපු විදිය ගැන මේධාගේ හිතට දැනෙමින් තිබුණේ ලැජ්ජාවක්

” මට සමාවෙන්න පාඨලී “

මේධා පාඨලීගේ අත් දෙක තද කරලා අල්ල ගත්තේ දෑස් වලින් නොනවත්වාම කඳුලු ගලාගෙන එන කොට

(Smart Lady)