"අම්මේ...කෑම රසයි"✨....වචනයෙන් කියන්න.
අපේ ගෙදර උදවිවට ළඟදි ආපු සෝමා රහට කෑම උයනව. වැඩිපුර ගෙදර නැති මං ගෙදර ඉන්න වෙලාවට පොඩි වුන් තුන්දෙනා වට කරන් කෑම කවනව. කාල ඉවර වෙලා වතුර බොන්න කුස්සියට දුවන පොඩි උන් තුන් දෙනාම "සෝම නැන්දේ කෑම රහයි" කියල කෑ ගහනව. දවසක් සෝම මා ළඟට ඇවිත් හිටගෙන ඇඹරෙනව.
"මොකද සෝමෙ?"
"සර්, මං ගිය කිසි ගෙදරක ළමයි කෑම කාල රසයි කියල කියල නෑ...සර්ද කීවේ එහෙම කියන්න?
"නෑ සෝමෙ...ඒ පුතාල පුරුදු වෙල තියෙන හැටි"
සෝමෙගෙ ඇස්වල කඳුලු....
"ඉතිං සෝමෙගෙ කෑම රහයිනෙ...එහෙම කියන එක වරදක් නෑනෙ"
"නෑ සර්...එහෙම ඇහෙන එකම සතුටුයි"
සෝමෙට මේක මෙච්චර දැනුණෙ ඇයි කියල මං තනියෙම කල්පනා කළා. මං කුඩා කාලයෙ අපෙ ගෙදර දැක්ක දෙයක් තමයි අම්මා ගෙදර වැඩ ඇතුළෙ කන කට්ට අප්පච්චි වචනයෙන් අගය කළේ නැහැ.. අප්පච්චි ගෙදරින් එළියෙ කන කට්ට අම්ම වචනයෙන් අගය කළේ නැහැ. ඒ අගය කිරීම හිතේ නැතුව නෙවෙයි. හැබැයි වචනයෙන් කියන්නෙ නැහැ. ඒ පරම්පරාවේ හැටි වෙන්නැති. හැඟීම් හිත ඇතුළෙ තද කරන් ඉන්න එක ඒ පරම්පරාවේ ලාක්ෂණික දෙයක් වගේ...
ඒක ගැන මගෙ කියවීම විවේචනයක් නොකර මං මගෙ පොඩි වුන්ට කියල දුන්න කෑම කාල "අම්මෙ කෑම රහයි" කියල කියන්න...
මම විදේශ පුහුණුවට එංගලන්තයේ ඉන්නැද්දි දැක්ක දෙයක් තමයි පුංචි දෙයක් පවා "අගය කරන" එක. "ඔබ හොඳින්ද" කියල අහන එක. වෛද්‍යවරයා පිටිපස්සෙන් එන පිරිසිදු කරන සේවකය එනකන් "දොර අල්ලන්" ඉන්න එක. "ඔබ අද ලස්සනයි" කියන එක. තමන් එක්ක එකට වැඩ කරන කෙනාව " අගය " කරන එක. සරලවම මේ හැම දෙයින්ම වෙන්නෙ අනිත් මනුස්සයට "වටිනකම" දෙන එක...සමහරු කියන්න පුලුවන් මේව මූනිච්චාවට කරන ඒව කියල..හැබැයි මේවගෙන් ඇතිවන ප්‍රතිපලය හොඳ දෙයක්...
මං ඉගෙනගත්තු රෝයල් ලන්ඩන් හොස්පිට්ල් එකේ දක්ෂය ඩොක්ට ෂඩාඩ්. ඔහු තමයි තරුව. ඉන්දියානු කාශ්මීර සම්භවයක් තිබුණෙ ඔහුට. පුදුමාකාර සායනික හැකියාවන් තිබුණ. උගන්නන්න දක්ෂයි. හැමවිටම ඔහු වටේ සිසුන් දහයක් පහළවක් හිටිය. ඔහු ගැන වෙනත් විශේෂඥ වෛද්‍යරියක් වන ඩොක්ට වෙල්මන් මට කීවෙ "He is amazing" කියල. ප්‍රොෆෙසර් ටේලර් කීවෙ " You are lucky to work with him" කියල. මේ ප්‍රාමාණික මිනිස්සු තමන්ගෙ සගය ගැන නිර්ලෝභීව අගය කරන හැටි මාව කම්පනයට පත් කළා. පුදුමයට පත් කළා...
ලංකාවෙ තත්ත්වය මීට වෙනස් නේද?
ආදරණීය මිත්‍රවරුනි,
ගෙදරක් ඇතුළෙ නම් බිරින්දෑ කරන පුංචි දෙයක් පවා අගය කරන්න. ඉඳල හිටල හෝ ඇය ලස්සන බව කියන්න. උන්දැ නැතුව තමන්ගෙ ජීවිතේ හිස් බව පිළිගන්න. මහත්තය ගැනත් එහෙමයි. ඔහු කරන කුඩා දෙය අගය කරන්න. ඔහු ළඟ ඇති උණුසුම වටින බව කියන්න..."වචනයෙන් කියන්න"
කාර්යාලයෙදි සුලු සේවකය පවා අගය කරන්න. ඔහු කාර්යාලය පිරිසිදුව තබා ගන්නා බව කියන්න...හදල ගේන තේ එක රස බව කියන්න...තමන්ගෙ සහෝදර සේවකයෙක් හොඳට වැඩ කරනව නම් ඒ බව කියන්න...පිටට තට්ටුවක් දාල කියන්න...
"වචනයෙන් කියන්න"
තමන්ගෙ වෘත්තීය සගයන් අතරෙ දක්ෂයන් ඉන්න පුලුවන්. ඒ බව පිළිගන්න. ඔවුන්ගෙ හැකියාවන් අගය කරන්න. අගය නොකිරීමට හේතුවක් හොයා ගන්නවාට වඩා අගය කරන්න හේතු හොයන එක ලේසියි...අගය කරන්න. "වචනයෙන් කියන්න".
ආදරණීය මිත්‍රවරුනි,
මේ කිසි දෙයක් සතපහක වියදමක් දරන්න උවමනා වැඩ නෙවෙයි. මැරුණට පස්සෙ මළගෙදර කරන ගුණකථනයකට වඩා, රස්සාවෙන් අස්වෙන දවසෙ ලොකු වියදමක් දරන ෆෙයාවෙල් එකකට වඩා, රට අතහැරල යන දවසෙ කරන සෝබන කතාවකට වඩා මේ වචන ටික වටිනව නේද?
ඒ හින්ද,
අගය කරන්න පුරුදු වෙන්න...
ඒක පුරුද්දක් වුනාම
ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් නිදහස් වෙනව...
හිතේ සැහැල්ලුව හැදෙනව...
ජීවිතේ සතුට හැදෙනව...
හුලඟෙ පාවෙන කුරුලු පිහාටුවක සැහැල්ලුව දැනෙනව...
අනිත් මනුස්සය නිර්ලෝභීව අගය කරන මිනිහ මනුස්සකමේ සෑහෙන දුර ගිය කෙනෙක් ❤️