Friday, April 19, 2024
Follow Us
වන රජ දහනෙන් නික්ම ගිය තේජවන්තයා "රේවත"?

කලා වැවේ මෙන්ම බළලු වැවේ දශක පහකට ආසන්න කාලයක් ආඩම්බරකාරයකු ලෙසත් අහිංසක සතකු ලෙසත් මනමාලයකු ලෙසත් මෙරට සහ විදේශ රටවල ද බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටි "රේවත" නමැති ඇත් රජු විදුලි සැර වැදීමෙන් මිය ගිය පුවත බොහෝ දෙනාට වේදනා ගෙන දෙන්නක් වී තිබිණි.


රේවතට විදුලි සැර වැදී මිය ගිය පුවත ප්‍රචාරය වීමත් සමඟ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා ලබාගත් ඡායාරූප වීඩියෝ දර්ශන විශාල වශයෙන් සැරි සරන්නට විය. යළි කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවායි යන්න බොහෝ දෙනා ප්‍රාර්ථනා කර තිබුණි.
වනාන්තරයෙන් එළියට එන රේවතගේ ඡායාරූප ගැනීමට මෙරට වනජීවී ඡායාරූප ශිල්පීන් ද විශාල වශයෙන් උනන්දුවක් දක්වා තිබීමද විශේෂත්වයකි.
කැකිරාව, මහ කැකිරාව, අලියා වැටුණු වැව ප්‍රදේශයට පසුගියදා රේවත ඇතුළු අලි කණ්ඩායම ගමන් කොට ඇත්තේ අස්වැන්න අවසන් වූ බඩ ඉරිඟු හේනක ආහාර ගැනීම සඳහාය. අස්වනු අවසන් වූ තැන විදුලිය ඇද ඇති බවක් රේවත හෝ එහි ගිය කිසිදු සද්දන්තයකු නොදන්න ට ඇත. එහෙත් සිදු වූයේ අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනට රේවත ජීවිතය බිලි වීම ය.
කලා වැවේ මෙන්ම බළලු වැව ගල්කිරියාගම රක්ෂිතය කහල්ල රක්ෂිතය රේවතගේ නිජබිම විය.
අවුරුදු හතළිස් පහක් පනහක් පමණ කාලයක් ජීවත් වූ රේවත ඉතා හැඩි දැඩි ඇතෙකි.
රේවත නිතර නිතර රංචු පිටින් කෑම සොයා යෑමට ඇල්මක් දක්වන ඇතෙකි.
එපමණක් නොව රේවත කුඩා අලි පැටවුන් සමඟ සෙල්ලම් කිරීමට දැඩි ඇල්මක් දැක්වූ ඇතෙකු වීමද ඡායාරූප ශිල්පීන්ට මෙන්ම රේවත දෙස බලා ඉන්න අයගේ දෑස් පිනවන තවත් දසුනකි.
රේවතට අමතරව කලා වැව බළලු වැව ඉස්මත්තේ තවත් ඇතුන් දහයක් පහළවක් පමණ දෙනා සිටිති.
මේ සෑම ඇතකුට ම විවිධාකාර නම් තබා ඇත.
කලාවැව ඉස්මත්තේ ජීවිතයෙන් සමුගත් ඇත්තු කිහිප දෙනෙක්ද වෙති.
ඒ අතර වළගම්බා හා නීල 2 ගල්ගමුවේ සිට කලා වැවට නිතර පැමිණෙන දළපූට්ටුවා ද දීගජන්තු ඇතා ද වෙයි
ඊට අමතරව අතුරුදන් වු රෝසා හා හක්කි ගැනද කතා පුවත් පවතී.
නීල දෙක ඇතා තවත් ඇතෙකු සමඟ ඇති වූ ගැටුමකින් මියගිය අතර නිල කලා වැවේ නායකයා ලෙස හඳුනාගෙන තිබිණි.
නිල මිය යෑමත් සමඟ කලා බළලු වැවේ අලි 350 කට පමණ නායකත්වය දෙන්නට ඉදිරිපත්ව සිටියේ රේවත වීමද විශේෂත්වයකි .
මේ ඇතාගේ විශේෂත්වය පිළිබඳ අදහස් දැක්වූ තමන්ගේ නම හෙළි කිරීමට අකමැති වූ කලා වැවේ නිතර වන අලින් සමඟ ගැවසෙන සියලු දෙනා බොහෝ දෙනෙකු හඳුනන වනජීවී දෙපාර්තමේන්තුවට සම්බන්ධ රැකියාවක් කරන මිතුරෙක් අප සමඟ මෙසේ පැවසීය.
"කලා වැවේ ඇත්තු පන්තිය තමයි ලංකාවේ ලස්සනම ඇත්තු ටික. ඒ අතරෙන් වළගම්බා, දීඝජන්තු එක දෙක, ඇසළ, රේවත වගේම මංගල ,දසමහ, දසමහ 2 මෙන්න අලුත්ම ඇත් පැටවා වෙන්නේ සඳරු ."
"මේ හැමෝගෙම කලා වැවේ හිටියා හැබැයි රේවත පුදුමාකාර ලස්සනක් තියෙන්නේ රේවත කැලේ ඉඳලා එළියට එනකොට කබර කන් දෙකත් එක්ක හරිම ලස්සනයි තේජවන්ත මහත සමඟ කොට දළ දෙකක් රේවතට තිබුණා. ඒ නිසා තමයි අනිත් අලින්ට වැඩිය ලස්සන. මෙයා නොදන්න කෙනෙක් නැහැ. බොහෝ දෙනෙක් පින්තූර අරන් තියෙනවා. ඒ ආසන්නයට ගිහිල්ලා වීඩියෝ කරලා තියෙනවා. හැබැයි කරදරයක් කරන්නේ නැහැ. ඒවගේම තමයි එළියට ගිහිල්ලා වගාබිමක් වත් වනසල කියලා ආරංචියක් අපිට නැහැ. එයා පොඩි පැටව් එක්ක තමයි සෙල්ලම් කරන්න කැමති. ඒ වගේම තමන්ගේ වර්ගයා බෝ කරන්නත් හරිම දක්ෂයි.
බොහෝ දෙනෙක් රේවත ආරක්ෂා කළා. අපි දන්න මැති ඇමැතිවරු පවා රේවත බලන්න එනවා. රේවත ගේ ඉරියව් බලන්න දින ගණන් හෝටල් වල නැවතිලා මිනිස්සු ඉන්නවා. කලා වැවේ සුන්දරම ඇතා තමයි රේවත."
සමාජ මාධ්‍ය ඔස්සේ රේවතට ජීවත්ව සිටියදීත් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. මියගිය පසු එය දෙගුණ තෙගුණ වී රේවතගේ ඡායාරූප ඕනෑ තරම් සමාජ මාධ්‍ය හැසිරෙන්නට වූයේ රේවත ට එතරම් ජනතා ප්‍රසාදයක් ඇති බැවිනි.
කාංචන කුමාර ආරියදාස
උපුටා ගැනීමකි