Wednesday, May 08, 2024
Follow Us
වසර 63ක් මගබලා සිටි ප්‍රේමයක්!

ටෙක්සාස් සිට ලොස් ඇන්ජලිස් දක්වා දුවන
දුම්රියක් තුළ මුණගැසෙන තරුණ යුවලක්..


ඇය ක්ලාරා.. ඔහු ජෝෂෆ්..
දෙදෙනා පෙම්වතුන් වෙනවා.
පෙම්වතුන් වී විවාහ වෙනවා.
ඒත් ඒ ප්‍රේමයට දළුලා වැඩෙන්න තරම් සෞභාග්‍යමත් කාලයක නෙමෙයි..
ඒ යුද්ධයක ශේෂ වූ දුම්‍ රොටු අඳුරු වළාවන් සේ අහස වසාගෙන සිටි කාලයක්.ඒ දෙවන ලෝක සංග්‍රාමයේ වේදනාත්මක මතකයන්ගෙන් මිදීමේ මගක් සොයමින් සිටි කාලයක්.
ඒ 1948 ජූනි මාසයයි.
හමුදා සෙබලෙක් වූ ජෝෂෆ් ගෑන්ට් ට වහාම සේවයට වාර්තා කිරීමේ නියෝගයක් ලැබෙනවා.ඒ කොරියානු යුධ බිමට.
නික්ම යන්නට මත්තෙන් ඔහු සිය ආදරියගෙන් එක් අවසන් ඉල්ලීමක් සිදුකරනවා;
"මා නැවත නොපැමිණියහොත් ඔබ මා අමතක කර නැවත විවාහ වෙන්න"
"නැහැ! මම ඔබ එනතෙක් බලාසිටිනවා.."
______________________________________________
කාලය ගෙවී යනවා..
ඔහුගෙන් ඇයට අවසන් වරට ලිපියක් ලැබී සෑහෙන කාලයක් ගතවෙලා..
ඔහුගේ ඉරණම අඳුරු වීද..ඈ එසේ සිතන්නට ඇති...
සිය පෙම්වතාගේ හදිසි නිහඬ වීම කුමක්දැයි සොයාබැලූ ඇයට, 1950 නොවැම්බර් 30 වෙනිදා ක්‍රියාන්විත සේවයේදී සාජන්ට් ජෝෂෆ් ගෑන්ට් අතුරුදන් වූ බවට ආරංචි ලැබෙනවා...
1953දී යළි ඇමරිකාවට පැමිණි සෙබළුන් කීපදෙනෙක් ඔහු පිළිබඳ මතකයක් අවදිකරනවා..
ඔහු තමන් සමග චීන අත්අඩංගුවේ සිටි බවත්, 1951 දී සාගතයෙන් මියගිය බව‍ත් ඔවුන් පවසා සිටියා..
නමුත් ක්ලාරා විශ්වාස කළේ
කෙදිනක හෝ ඔහු පැමිණෙන බවයි..
ඒ නිසා ඇය නොකඩවා දෙවියන් යදිමින් සිටියා..
ඇය ඔහුගේ නිරුපද්‍රිත පැමිණීම වෙනුවෙන් යාඥා කළා..
අවසානයේ.....
*
*
*
වසර 63කට පසුව දෙවියන් වහන්සේට ඇයගේ යාඥාවන් ඇසෙන්නට ඇති....
නමුත් දෙවියන් වහන්සේ ඇය වෙත එවා තිබුණේ, ජාතික ධජයෙන් ආවරණය කරන ලද
සීල් තැබූ මිනී පෙට්ටියක්...
ඒ තුළ තැන්පත් කර තිබුණේ වසර 61කට පසුව කොරියාවෙන් සොයාගත් දිරාගිය අස්ථි කැබලි කීපයක්...
පරීක්ෂණ අනුව ඒ සාජන්ට් ජෝෂෆ් ගෑන්ට්ගේ අස්ථි කොටස්.
වසර 63කට පසුව තමා සොයා පැමිණ,
නිහඬව නිදන තම පෙම්වතා ඉදිරියේ එතෙක් කල් සඟවාගෙන සිටි කඳුළු කැට වස්සන,
වයස අවුරුදු 94 වූ ක්ලාරා ගෑන්ට්
තම මතකයන් සමඟ තනිවන මේ ආත්මීය මොහොත කැමරා කාචයේ මෙසේ සටහන් විය..
පසුදිනම පූර්ව හමුදා ගෞරව සහිතව සාජන්ට් ජෝෂෆ්ව, සිය මව්‍ රටේ පස තුළ
සදාකාලික නින්දක සතපවනු ලැබුවා...
_____________________________________________
ප්‍රේමය සදාකාලික දැයි නොදන්නා මුත්
සදාකාලික ප්‍රේමයන් ඇති බව දනිමි...
ප්‍රේමය අමරණීය දැයි නොදන්නා මුත්
අමරණීය වූ ප්‍රේමයන් ඇති බව දනිමි...
"වසර 63ක් බලාසිටි ප්‍රේමය" ඒ පාඩම කියාදී ඇත!
***********************************************