ලෝකය දවසින් දවස අලුත් වෙනවා. තාක්ෂණික සහ කාර්මික දියුණුවත් එක්ක වේගයෙන් මිනිස්සුත් යන්ත්‍ර තරමටම කාර්යබහුල සහ අවිවේකි වෙලා තියනවා. ලෝකයේම ක්‍රමය එහෙම තමයි. ඔබට මට විතරක් තනිවම ඒ ක්‍රමයෙන් ගැලවිලා ක්‍රම විරෝධී ගමනක් යන්න හැකියාවක් නැහැ. ඒක තමයි සැබෑ තත්වය.
නමුත් අපටත් යන්ත්‍ර වගේ වෙන්නත් හැකියාවක් නැහැ. මිනිස්සු විදිහට, ජීවින් විදිහට අපට තවත් බොහෝදේ කරන්න තියෙනවා වගේම ජීවිතය විඳිමින් ගෙවන්නත් අවශ්‍ය වනවා. එහෙම නොවුනොත් ශාරීරිකවත්, මානසිකවත් රෝගීන් බවට පත්වීමේ අවදානම අපි හැමෝටම තියෙනවා. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නූතන ලෝකයේ තමන්ගේ පැවැත්ම හදාගෙන සාර්ථක මිනිහෙක් බවට පත්වෙන්න නම් දිගින් දිගටම වැඩකළ යුතුයි කියලත්. එක පැත්තකින් ඒ අදහස සත්‍ය වෙන්න පුළුවන්. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ මහන්සි වී වැඩකළ යුතුයි. නමුත් මේ කියන මහන්සියේ ප්‍රමාණය කොතරම්ද..? කොහොමද මහන්සි වී වැඩ කරන්නේ..? මේ දේවල් නැවතත් ගැටළු විදිහට ඉතිරි වනවා. ඔබ හිතන්නේ දවසකට වැඩි වෙලාවක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කිරීම “සාර්ථකත්වය වෙනුවෙන් මහන්සිවී වැඩ කිරීම” කියල නම්, එතන ඔබට වැරදීමක් වෙලා. සාර්ථකත්වය හෝ ඵලදායිතාව තියෙන්නේ ඔබ වැඩ කරන පැය ගණනේ නොවෙයි. ඔබ වැඩ කරන පැය ගණනට සාපේක්ෂව ඔබේ ඵලදායිතාව කොපමණද කියන කාරණය පමණයි ඔබේ සාර්ථකත්වයට බලපාන්නේ. ඒ වගේම ඔබ ඔබේ සාමාන්‍ය ජීවිතය වෙනුවෙන් මොනවද කරන්නේ කියන එකත් ජීවිතයේ යම් දවසක ඔබට තදින්ම බලපාන කාරණයක්. ඒ නිසා, වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන දෙක සමබරව පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. ඔබට සාර්ථක මිනිසෙකු වීමට නම් අවශ්‍ය වන්නේ මේ දෙකම සමබරව ඵලදායීව පවත්වා ගැනීමයි. gasma.lk කියවන ඔබ වෙනුවෙන්, මේ කාරණය ගැන ටිකක් ගැඹුරින් කතාබහ කරන්න අපි තීරණය කළා. ඔබේ සාමාන්‍ය ජීවිතය සහ වෘත්තීය ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීමට මේ කරුණු ගැන අවදානය යොමු කරන්න.
ඔබේ පවුල් ජීවිතය
ඔබ රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් වෙහෙසෙන අතරතුර ඔබේ පවුල ගැනත් සිතනවාද..? මේක වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන බරපතල ගැටළුවක්. ඔවුන් රැකියාවේ වැඩකටයුතු එක්ක කාර්යබහුලයි. ඒ වගේම දිගු පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට සිදු වනවා. ඒ නිසාම ඔවුන්ට පවුල කියන ඒකකය මගහැරී යනවා. විශේෂයෙන් ඔබ දරුවන් සිටින මවක් හෝ පියෙක් නම්, ඔබ දරුවන් වෙනුවෙන් කොපමණ කාලයක් වෙන් කරනවාද කියන කාරණය අතිශය වැදගත්. බොහෝ දෙනෙක් වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසෙමින් පියවරෙන් පියවර ඉදිරියට යන අතරතුර මේ පවුල සහ දරුවන් කියන ඒකකය ඔවුන්ට මගහැරෙනවා. ඒ බව වැටහෙන්නේ බොහෝ කල් ගතවීමෙන් පසුවයි. නමුත් ඒ අවස්ථාව වෙනකොට ඔවුන් ප්‍රමාද වැඩියි. නැවත සකස් කළ නොහැකි තරමටම ඒ ඒකකය පලුදු වී තිබෙන්නත් පුළුවන්. දැන් ඔබ සාර්ථකයි කියන සාධකයේ ප්‍රථිපලයක් තිබේද..? මේ දෙකම සමානව පවත්වා ගැනීමයි සාර්ථකත්වය කියන්නේ. එහෙම පවත්වා ගැනීමට හැකියාවක් තිබීම තමයි සාර්ථක මිනිසකුගේ ලක්ෂණය. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වර්ථමානයේ දරුවන් බොහෝවිට තම තමන්ගේ ලෝකවල ජිවත් වන්න කැමතියි, ඔවුන්ට දෙමව්පියන්ගේ අවදානය එතරම් වැදගත් නැහැ කියල. නමුත් මනෝවිද්‍යා පර්යේෂණ වලින් හෙළිවන්නේ දරුවන් එහෙම හැඟීමක් පිටතට දෙන්නෙත් දෙමව්පියන් ඔවුන්ව මගහැරීමේ ප්‍රතිඵලයක් විදිහට බවයි. ඒ නිසා ඔබේ දරුවන්ට සහ පවුලට දවසෙන් පැය කිහිපයක් හෝ වෙන් කරන්න. දරුවන් නොමැති අවිවාහක තරුණ පිරිසට වුවත් තමන්ගේ පවුලේ අය වෙනුවෙන්, දෙමව්පියන් වෙනුවෙන් මේ විදිහටම යම් කාලයක් වෙන් කරන්න ඔවුන්ට සවන් දෙන්න අත්‍යවශ්‍යයි. ඔබට වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය කළමනාකරණය කරගැනීමේ පුහුණුව ඇතිවන්නේත් එහෙමයි.
රැකියාව සහ සෞඛ්‍යය
යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම රැකියාවට වගේම සාමාන්‍ය ජීවිතයටත් අතිශය වැදගත්. “ආරෝග්‍යා පරමා ලාභා” කියන අදහස, ඒ කියන්නේ හොඳම ලාභය නිරෝගීව ජීවත් වීමට ලැබීමයි කියන අදහස අපි අතර හුඟක් ජනප්‍රියයි. ඒක ඉතාමත් ප්‍රායෝගික අදහසක්. ඒ වගේම රැකියා ස්ථානයේ තියන කාර්යබහුල බව වගේම ආතතියත් මගහරවාගෙන, වැඩකටයුතු මනා කාර්යක්ෂමතාවකින් යුතුව කරගෙන යන්නත් නිවැරදි සෞඛ්‍ය පුරුදු සහිතව නිරෝගීව ජීවත් වීම අත්‍යවශ්‍යයි. නියමිත වේලාවන්ට නිසි පෝෂණය සහිත කෑම වේලක් ගැනීම සහ ව්‍යායාම කිරීම මේ සෞඛ්‍ය පුරුදු විදිහට පෙන්වා දිය හැකියි. නමුත් කනගාටුවට කරුණ නම්, බොහෝ දෙනෙකුට රැකියාවේ “වැඩ අධික” බව නිසා මේ දෙකම මගහැරෙනවා. ව්‍යායාම කරන්න කොහෙද වෙලාවක්, මේ ඔෆිස් එකේ තියන වැඩ ගොඩත් එක්ක” කියන පැමිණිල්ල නිතර අහන්න ලැබෙන දෙයක්. එහෙමත් නැතිනම්, වෙලාවට කන්න වෙන්නෙම නෑ වැඩත් එක්ක හිර වුනාම” කියන කතාවත් නිතර කියවෙන දෙයක්. නමුත් ඔබ දැනගත යුතුයි නිසි වෙලාවට පෝෂණය සහිත කෑම වේලක් ගැනීම මගහැරගෙන හෝ නියමිත ව්‍යායාම් කිරීම මගහැරගෙන ඔබ කොතරම් වැඩ කළත් එහි ඵලදායිතාව ගැන ගැටළු පවතින බව. ඔබ මේ දෙක මගහැර ඉන්නවා කියන්නෙම ඔබ සෞඛ්‍යසම්පන්න නැහැ. ඒ වගේම ඔබේ ක්‍රියාශීලි බව අඩු වනවා. ඒ නිසා ඔබ වැඩ කරන වේගය වගේම ඔබේ ධාරිතාවත් අඩු වනවා. ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන සිතන්න සහ ඒ වෙනුවෙන් නිසි පියවර ගන්න රැකියාව බාධාවක් කරගන්න එපා. ඒ දෙක මොනයම්ම හෝ ආකාරයකින් කළමනාකරණය කරගැනීම ඔබ සතු වගකීමක් බව හොඳින් මතක තබාගන්න.
ඵලදායිතාව ගැන සැළකිලිමත් වන්න.
සමහර දවස් වලට ඔබට ඔබ ගැනම තෘප්තියක් නැති වනවා නේද..? දිගු පැය ගණනක් කාර්යාලයේ රැඳෙමින් වැඩ කළා වුනත් ඔබේ ඵලදායිතාව ඉතාම අඩු බව ඔබටම දැනෙන දවස් තියෙනවා නේද..? ඒ ගැන ඔබ විශේෂයෙන් සැළකිලිමත් වන්න. ඔබ කොතරම් වෙලාවක් වැඩ කරමින් “වැඩ ටික ඉවර කරන්න” හිතුවත් ඔබේ ශරීරය සහ මනස ඊට සුදානම් නැහැ. ඒ දෙකටම විවේකය අවශ්‍යයි වගේම ඒ දෙකම ක්‍රියාත්මක වන්නේ ඊට ආවේණික රටාවකටයි. ඔබ ඒ ස්වභාව නියමයන් අභිබවා යන්න උත්සාහ කළත්, එහෙම කරනවා කියල ඔබ ඔබටම කියාගත්තත්, ඔබට ඒක කරන්න ලැබෙන්නේ නැහැ. ඵලදායිතාව අඩු දිගු පැය ගණනක් කාර්යාලයේ ගතකළා නේද කියන පසුතැවීම පමණක් ඔබට ඉතුරු වේවි. ඒ නිසා විවේකය අත්‍යවශ්‍යයි. ඒ අදාළ කාලය වැඩ කිරීමෙන් පස්සේ අවශ්‍ය විවේක කාලය වෙන් කරගන්න. ඒ වගේම නිසි ව්‍යායාම සැළසුමකට අනුව ව්‍යායාම කරන්න. ඔබට දිගු කලක් තිස්සේ පවතින ආතතියෙන් මිදීමට ඒක ලොකු රුකුලක් වේවි. වෙනස ඔබටම ඉතා ඉක්මනින් වැටහේවි. ඒ වගේම වෙනදාට වඩා ප්‍රභෝදයකින් සහ ක්‍රියාශීලිව වැඩ කරන්නත් හැකියාව ලැබේවි.
ඊළඟ වැදගත්ම දේ කාර්යාලයේ පීඩනය ආතතිය සහ ගැටළු ගෙදර අරගෙන යන්න එපා. හුඟක් දෙනෙක් කරන බරපතල වරදක් මේක. ඔබට කාර්යාලයේ පීඩාවෙන්, ගැටළුකාරී තත්වයෙන් හිඳිමින් නිවසේදීත් ඒ විදිහටම ඉන්න අවශ්‍යද..? නැහැ නේද.? ඒ නිසා ඔබේ කාර්යාලයේ වැඩ, ගැටළු, පීඩනය, ආතතිය මේ හැම දේම කාර්යාලයේම තබන්න. ගෙදරට යනවිට ඒ සැහැල්ලුව ඇති කරගෙන ගෙදර යන්න. නැතිනම් නැවත වරක් ඔබ නිවසේදීත් කාර්යාලයේ පීඩනයෙන්ම දවස ගෙවනු ඇති. වැඩ අවසන් කොට ගෙදරට යාම පවා ප්‍රථිපලයක් නැතිවේවි. ඒ නිසා අත්‍යවශ්‍ය අවස්ථාවක හැර කාර්යාලයේ වැඩ, ගැටළු මේ කිසිවක් ගෙදර ගෙන නොයන්න වගබලා ගන්න. ඒ දේවල් පිලිබඳ නිවැසියන් සමග කතාබහ කිරීමෙන් පවා වැලකි සම්පුර්ණයෙන්ම ඒවා කාර්යාලයේම තබා යා හැකිනම් එය වඩාත්ම යෝග්‍යයි.
සමජීය ජීවිතය
ඔබ තවත් කරන වැරද්දක් තමයි මේ. රැකියාව පටන් ගැනීමත් එක්කම සමාජීය ජීවිතය අමතක කරනවා. නැතිනම් මගහැරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එය නොකළ යුත්තක්. ඔබේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ මූලිකවම කොටස් තුනක් තිබෙනවා. සාමාන්‍ය ගෘහස්ථ ජීවිතය (domestic life), වෘත්තීය ජීවිතය (professional life) සහ සමාජීය ජීවිතය (social life) කියන මේ කොටස් තුන ගැන හොඳ අවබෝධයකින් පසුවීම වැදගත්. ඒ වගේම මේ තුන එකිනෙක මිශ්‍ර කර නොගැනීමත් ඔබේ වගකීමක්. මොහොතක් සිතා බලන්න. ඔබ මිතුරන් හමුවීම, ඔවුන් සමග සුහද කතාබහ, dinner out එකක් වගේ දේවල් කොයි තරම් මගහැර තිබෙනවාද..? ඔබ කියන හේතුව වැඩ වැඩි වීම. ඒක හරිම සාම්ප්‍රදායික පිළිතුරක්. වැඩ සහ විවේකය කලමනාකරනය කරගැනීමයි වැදගත්. හොඳින් මතක තබාගන්න එය කළ නොහැකි නම් ඒක ඔබේ අසමත්කමක්. මොන තරම් වැඩ තිබුනත් සති අන්තය හෝ වෙනත් නිශ්චිත දිනයක් වෙලාවක් වෙන් කරගෙන ඔබේ මිතුරන් හමුවීම්, සුහද කතාබහක් පැවැත්වීම ගැන ඔවුන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුමයි. මෙතෙක් ඔබට ඔබේ සමාජීය ජීවිතය මගහැරුනා නම්, අදම මේ වෙනුවෙන් වෙලාව වෙන්කර ගනිමට කටයුතු කරන්න.
පෞද්ගලික කුසලතා ප්‍රවර්ධනය
ඔබ විසින් අත්හැර දමන තවත් වැදගත්ම සාධකයක් මේ. ඔබ කිසියම් සුදුසුකමක් ගැනීම වෙනුවෙන් ඉගෙන ගැනීම වෙහෙසීම කරනවා. උපාධිය හෝ ඩිප්ලෝමාව ලබාගෙන ඔබ රැකියාවටත් ගිය පසු ඔබ කරන බරපතල වරද ඔබේ හැදැරීම් එතනින් නවතා දැමීම. එතැන් පටන් ඔබ වැඩ වෙනුවෙන් මහන්සි වනවා මිස ඔබේ පෞද්ගලික හැකියාවන් ප්‍රවර්ධනය වෙනුවෙන් කිසිවක් කරන්නේ නැහැ. නමුත් එක බරපතල වරදක්. ඔබ අනිවාර්යෙන්ම ඔබේ ක්ෂේත්‍රයේ නව දැනුම එකතු කරගත යුතුයි. තාක්ෂනය කොතරම් දියුණු වෙමින් යනවාද කියන දේ පසුගිය දශක දෙකේ ජිවත් වූ ඔබ හොඳින්ම දන්නවා. නමුත් මේ වෙනසට අනුගත වීම අපි කළ යුතුමයි. ඒ වෙනුවෙන් ඔබ වැඩකරන ක්ෂේත්‍රයේ ලෝකයේ පවතින නව දැනුම සොයාගන්න. ඒ පිලිබඳ යාවත්කාලීන වන්න. ඔබඔබේ ක්ෂේත්‍රය ගැන පවා නිවැරදි නවීන දැනුමින් සන්නද්ද නැතිනම් එය ඔබේ දුර්වලකමක් ලෙස හඳුනා ගැනීමට ඉඩකඩ තියනවා. ඒ නිසා මේ සතතාභ්‍යාසය සහ නව දැනුම සොයා යාම අත්‍යවශ්‍යයි.
අද ලෝකයේ බොහෝ දෙනෙක් මේ රැකියාව සහ ජීවිතය සමබරව පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ආතතියට ලක්වී තිබෙනවා. මේ තත්වයෙන් මිදීමට විශේෂඥයින් හඳුන්වා දෙන ක්‍රම කිහිපයකුයි අපි ඔබට ගෙන ආවේ. නැවත නැවතත් සිතා බලන්න. අවසානයේ ඔබ කියන පුද්ගල චරිතය හැමටම වඩා වැදගත්. ඒ නිසා රැකියාවට ඔබව පාලනය කිරීමට ඉඩ නොදී, රැකියාවත්, රැකියා ස්ථානයේ ආතතියත් ඔබේ පාලනය යටතට ගන්න. සාර්ථක මිනිසකු වීමට ඔබටම මගපාදා ගත හැකිවනු ඇති.
Nisanka