- ප්‍රේමයට කොහෙන්ද පිළිවෙලක් -
************************************
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර උනේ
හුදෙකලා අඳුරු අවකාශයේ කෙලවරකින් නිරංජලාගේ ලයාන්විත හඬ ඇසෙයි. ඒ හඬ සැබවින්ම ලයාන්විතය. නමුත් අහේතුවකට මේ මොහොතේ ඒ ලයාන්විත බව පරයා එය ලවන් පාරන්නක්ව තිබේ. හේතුව දන්නේ ඔබත් මාත් පමණි. අවකාශය අඳුරුය. හුදෙකලාය. එය මට නුහුරු නොවේ. නමුත් දැන්...? දැන් ඒ අවකාශය හිස්ය. අඳුරු හුදෙකලා බව පරයා හිස්බව වසාගෙන ඇත. සියල්ල මාරුතයකට හසුව ගසාගෙන ගොස්ය. සීසීකඩ විසිර ගොස්ය. මුළුමනින්ම ඉදිරී ගොස්ය. වෙනදා මෙහි මතක තිබිණි. සොඳුරු සේම අඳුරු මතකද තිබිණි. ඒ කවරක් වුව මම ආදරයෙන් වැළඳ ගත්තෙමි. ඒ මතක මට තනිමැකු බව දන්නේ මා පමණි. දැන් ඒ මතකද නැත. සියල්ල හිස්ය. මම හුදෙකලා පාලු අඳුරු හිස් අවකාශයක තනිවී සිටිමි. නිරංජලා කියන්නේ සැබෑවකි. මම බොහෝදුර ගෙවා ආවෙමි. ඔබ දන්නවාට වඩා, හිතනවාට වඩා බොහෝ දුර ගෙවා ආවෙමි. කෙළවර කොතනදැයි සොයමින් ගඟක් සේ ගලා ආවෙමි. අතරමග කඳු, බෑවුම්, රළු ගල්පර, සානු, නිම්න අටෝරාසියක් හමුවිණි. නමුත් ඒ සියල්ල පරයා අවසානය තෙක් ගලා ආවෙමි. එලෙස පැමිණි විඩාබර ගමන නවතාලන්නට මෙතැනම තෝරා ගත්තේ ඇයි දැයි මා දන්නේ නැත.මේ ගමනේ ඉසිඹුවකට ඔබළඟ ගිමන් හරින්නට නැවතුනේ ඇයිදැයි මා දන්නේ නැත. පියමං කොට පැමිණි බොහෝ දුර නිසා ලද වෙහෙස නිවාගන්නට පවසට පැන් ලැබෙතැයි මා සිතුවා විය හැක. කිසිවක්ම නැත. පැන් තබා තෙත් බවක් හෝ නැත.
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල් පතුලෙන් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුනේ
නිරංජලා නොනැවතී ගයයි. මේ නිල් දිය පිරි විල මතම මේ මල පිපුනේ ඇයිදැයි හේතු දන්නේ කවුරුන්ද..? ඊට හේතුවක් නැත. මලේ ස්වභාවය එයය. ඊට සුදුසු සරිලන තැන හටගනී. හටගැනීමේ හේතු ඇති තැනෙක හටගනී. එය අවිනිශ්චිත ඕනෑම මොහොතක සිදුවිය හැක්කකි. එලෙසම මෙතුවක් නිසලව පැවති මහද විල් පතුලෙන් මතුව ආදර මල පිපී තිබේ. එය මට පාලනය කළ හැක්කක් නොවේ. කළ යුත්තක්ද නොවේ. ඒ මලට නිරායාසයෙ පිපෙන්නට ඉඩදී මම බලා සිටියෙමි. පිපෙන්නට සැරසෙද්දී මිලින වී යනු ඇතැයි කිසිදා නොසිතිමී.
මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල්වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ
ඒ මල්වැලට චෝදනා කිරීමට මට නොහැක. මම කටු ගසටද චෝදනා නොකරමි. කටුගස මල් වැලක් අපේක්ෂා නොකරන්නට ඇත. බොහෝවිට ඒ වැලේ මල් ලස්සන නොවන්නට ඇත. සුවඳ නොවන්නට ඇත. එහෙයින්ම තියුණු කටු උලුප්පා රිදවන්නට ගස සිතුවා විය හැකිය. රිදවීම සමගින්ම නික්ම යාමට මල්වැල සුදානම්ය. අහිතකින් නොවේ. දුකකින්ද නොවේ. ගසද ඒ බව නොදන්නවා විය නොහැක.
අවසානයේ මෙලෙස කියමි. ගිලිහී යන්නට ඔබෙ සුරතින් මා අතැඟිලි බඳුනේ කිමැයි මා දන්නේ නැත. ගිලිහෙන බව නොදැන සිටියා නොවේ. ගිලිහෙන්නට අපමණ හේතු ඇති අතර පැටලෙන්නට එක හේතුවක් පමණක් තිබිණි. එයද මට පමණකැයි දැන් පැහැදිළිය. අරුමයකි. ඔබ කිසිත් නොකියා මුනිවත රකියි. ඒ කෙලෙසදැයි මා දන්නේ නැත. ගිලිහී නික්මයන අවසන් මොහොතට වදනක් නොපවසන්නට ඔබ සිතුවේ කෙසේද..? පෙර මතක ශේෂයන්ද මතකයේ ඇත්තේ මට පමණක්ද..? සියල්ල දැනුනේ මට පමණමද..? මගේ දෘඩ බව මේ අවකාශයේදී දියවී ගොස්ය. සියල්ල අවසානයේ දෑසේ තෙත් බව පමණක් ඉතිරිය.
ඉදින් මම නික්ම යමි. හුදෙකලා අඳුරු පාලු කුටියෙන් නික්ම යමි. ඔබට ශේෂයක් නොවූ නොවටිනා නමුදු මට මිණිසේ වටිනා මතක ශේෂයන් ගොන්නක් රැගෙන ඒ අවකාශයෙන් පිටව යමි. පිටවයන අවසන් මොහොතේ තෙත්වූ දෑසින් ආපසු හැරී බලමි. ඔබ මද සිනහවෙන් සිටිනු දකිමි. ඔබට සිනහ සදන හේතුව පිලිබඳ ආඩම්බරයෙන් යුතුව නගන මදහස මා කෙරෙහි සමච්චලයක් බව දනිතත්, කිසිවක් නොකියාම යළි හැරෙමි. තනිව හුදෙකලාවේ යළි ගමන් අරඹමි. රිදුම් කන දෙපයින් වුව දිගින් දිගටම ඇවිද යමි. යළි නොනවතිමි. කෙටි කලක පුරුද්දට "පරිස්සමින්" යැයි ඔබේ මුවින් පිටවේදැයි අසන්නට තවත් නිමේශයක් නවතිමි. නැත. ඔබ කිසිවක් කියන්නේ නැත. හුදෙකලා නිහඬ බවම පමණකි. තවත් රැඳෙනු කිම..? මතක ගොන්නක් ගුලිකොට එහි බර හිසමත දරා තෙත්වූ දෑසින්, රිදුම්දෙන දෙපයින් මම පිටව යන්නෙමි.
- ඔබට ජය -
- නිසංක -