Tuesday, April 16, 2024
Follow Us
ඔයා කතා කරන විදියෙන් පුළුවන් ඔයා smart චරිතයක්ද කියලා හොයාගන්න..

Smart වෙන්න, නැතිනම් smart character එකක් වෙන්න කවුද අකමැති..? ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගැන අනික් අය ඒ විදිහට කතාබහ කෙරෙනවා අහන්න. ඒත් ඇත්තටම Smart වෙන්න නම්, ඔයා ඔයාගේ ජීවන රටාවට එකතු කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි විශේෂයෙන් මෙතැනදී කතාබහ කරන්නේ ඔයාගේ සන්නිවේදන හැකියාව ගැන. ඒක කොයි තරම් Smart විදිහට කරන්න ඔයා දැනුවත්ද කියන දේ ගැන. මේ ලිපියෙන් අපි කතාබහ කරන දේවල් ඔයා තුළ තියෙනවා නම් තමයි ඔයා ඇත්තටම “Smart communicator” කෙනෙක් විදිහට අනික් අයට පෙන්නේ. මොනවද මේ කාරණා…? අද gasma.lk කියවන ඔබ වෙනුවෙන් අපි ලැහැස්තියි මේ කරුණු ගැන කතාබහ කරන්න.

 

සන්නිවේදන හැකියාවන්

හොඳ සන්නිවේදකයෙක් වීම ඔයාට Smart චරිතයක් වෙන්න මූලිකම අවශ්‍යතාවක්. ඔයා කතාවක් අහල ඇති “අඩුවෙන් කතා කරන්න වැඩිපුර අහගෙන ඉන්න” කියල. හොඳ සන්නිවේදකයෙක් වීමේදී මේ කතාව අතිශය වැදගත්. වැඩිපුර අහගෙන ඉන්න තරමට ඔයාට දේවල් වැඩිපුර උකහා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අඩුවෙන් කතා කරන්න පුරුදු වුනොත් ඔයා අත්‍යවශ්‍ය දේ විතරක් නිවැරදිව පැහැදිළිව කතා කරන්න පුරුදු වෙනවා. හොඳ සන්නිවේදන කුසලතාවක් තියෙනවා කියන්නෙ මේ දෙකම නිසිආකාරව පුහුණු කිරීම. ඒ පුහුණුව ඔයාට තියෙනවා නම් ඔයා හොඳ සන්නිවේදකයෙක්. ඒ කියන්නෙ Smart චරිතයක් වෙන්න නම් ඔයාට අවශ්‍ය පළවෙනිම දේ හොඳ සන්නිවේදන හැකියාවක් ඇතිකර ගැනීම.

 

කතාබහ පැහැදිළි වීම

ඔයා රාජකාරි ස්ථානයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදීත් Smart කෙනෙක් වෙන්න කැමති නම් අපි මුලින් කිවුවා වගේ සන්නිවේදනයේදී smart වීම වැදගත්. ඔයාගේ කතාබහ පැහැදිළි වීම මේකේ ප්‍රධානම ලක්ෂණයක්. රැකියා ස්ථානයේ වුවත්, ගෙදරදොර වුනත්, මිතුරන් අතරේ වුනත්, ඔයා කතා කරන දේ ඉතා පැහැදිළිව කරන්න පුරුදු වෙන්න. තමන්ට කියන්න අවශ්‍ය දේ පැහැදිලිව නොකීම නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙන අවස්ථා ඔයා දැකලත් ඇති. අපි සාමාන්‍යෙන් මේවා හඳුන්වන්නේ Communication errors නැතිනම් miscommunication කියල. විශේෂයෙන් රැකියාවේදී වගේම ගෙදරදීත් මේ ගැටළුවට මුහුණ දෙන්න සිද්ද වෙන අවස්ථා වලට උදාහරණ බොහොමයි. ඔයාට කියන්න අවශ්‍ය දේ පැහැදිළිව අනිකාට නිවැරදිව අවබෝධ වන විදිහට කියාගන්න අපොහොසත් වුනොත් ප්‍රතිඵලය ලැබෙන්නේ අවශ්‍ය දේ නොවෙයි. එහෙම අවස්ථාවකදී ඔයාගේ සන්නිවේදන අපැහැදිලිතාව නිසා ඒ දේ සිදුවුණා බවට ඔයාට චෝදනා එල්ල වන්න පුළුවන්. රැකියාවේදී නම් ඒක ඔයාගේ වෘත්තීය බවට එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසා මේ පුහුණුව ඇති කරගැනීම අත්‍යවශ්‍ය වනවා.

 

කෙටි යෙදුම් භාවිතයෙන් වළකින්න.

වර්ථමාන ලෝකයේ අපි වැඩිපුරම කරන්න පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි text කරන එක. ඇත්තටම කෝල් එකක් දෙනවට වඩා අපිට පහසු සහ ලේසි ක්‍රමය තමයි text massage එකක් යවන එක. WhatsApp, viber, messenger, hangouts, වගේ තව නොයෙකුත් ක්‍රම හරහා කෙටි පණිවිඩයකින් අදහස් හුවමාරු කරගන්න හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. මේ සන්නිවේදන ක්‍රමය ජනප්‍රිය වෙනවාත් එක්කම ඒ වෙනුවෙන්ම නිර්මාණය වුනු විශේෂිත කෙටි වචන බොහොමයක් භාවිතයට එන්න පටන් ගත්තා. නමුත් වෘත්තීය භාවයකින් යුතු සන්නිවේදන අවස්ථාවන්ට මේ කෙටි වචන සහ යෙදුම් පාවිච්චි නොකරන්න ඔයා සැළකිලිමත් විය යුතුමයි. OMG, LOL, IDK වගේ තවත් බොහොමයක් කෙටි යෙදුම් මේ කෙටි පණිවිඩ ක්‍රමවේදය නිසාම ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර විට පාවිච්චි කරන භාෂාව මොකක්ද කියන එක අදාළ නැතුවත් කතාබහේදී හෝ Online සංවාද වලදී මේ වචන පාවිච්චි කෙරෙනවා. නමුත් හොඳ සන්නිවේදකයෙක් smart විදිහට සංවාදයක් පවත්වද්දී මේ වචන සහ යෙදුම් භාවිතයෙන් වැළකිය යුතුමයි. විශේෂයෙන් වෘත්තීය මට්ටමේ සංවාද සහ සාකච්චා වලදී නම් මේ යෙදුම් භාවිතා නොකරම ඉන්න කියන එකයි ඔයාට කියන්න තියෙන්නෙ.

 

නොදන්නා විෂයකට සම්බන්ධ වීමෙන් වළකින්න.

අපි හැමෝටම අපේ දැනුම් පරාසයක් සහ විෂය පථයක් තියෙනවා. කෙනෙක් විද්‍යා විෂය ගැන ලොකු දැනුමක් තියෙන අතරේ තව කෙනෙක් ඉලෙක්ට්‍රොනික හෝ පරිඝනක තාක්ෂණය ගැන දැනුමින් සන්නද්ධ වනවා විය හැකියි. ඒ අතරේම තව කෙනෙක් භාෂාව අතින් දැනුමින් වැඩි විය හැකියි.මේ සියල්ල ඒ ඒ එපුද්ගලයින් කලක් තිස්සේ ප්‍රගුණ කළ දේවල් මත පදනම් වනවා. ඔයා තේරුම් ගතයුතු වැදගත්ම කාරණය තමයි අපි හැමෝම සියලුම විෂයන් ගැන දැනුමින් සන්නද්ධ අය නොවන බව. එහෙම වෙන්න අපේ ජීවිත කාලය තුළ කිසිවකුටත් බැහැ. හැමෝටම තම තමන් ප්‍රගුණ කළ විශේෂිත විෂය ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම අපි හැමෝටම පවතින ඕනෑම සංවාදයකට සාකච්චාවකට වටිනා අදහස් එකතු කිරීමට හැකියාවක් නැහැ. අපිට හැකියාව තිබෙන්නේ අපි දන්නා විෂය ක්ෂේත්‍රයට අදාළ සාකච්චාවකට වටිනා අදහසක් එකතු කිරීමට පමණයි. එහෙම නොවන අපි හරියටම නොදන්නා මාතෘකාවක් ගැන කෙරෙන සංවාදයකට කොහෙන් හෝ අහුලාගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමට යෑමෙන් ඔයා අපහසුතාවයට වගේම අවඥාවටත් ලක්විය හැකියි. ඒ නිසා තමන් ඉතා හොඳින් දන්නා විෂයකට අදාළ කරුණු මිස ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට සහ උපදෙස් ලබාදීමට යෑම නොකළ යුතුමයි. එහෙම වුනොත් සිදුවන්නේ ඔබ සමච්චලයට ලක්වීම පමණයි. ඒ නිසා Smart වෙන්න නම් ඔයාගේ විෂය ඇතුලෙ පමණක් සංවාද කරන්න වගබලා ගන්න. ඉතිරිවාට සවන් දීම සහ යමක් උකහා ගැනීම පමණක් කරන්න පුරුදු වන්න.

 

Smart බව පෙන්වන්න උත්සාහ කිරීම


මේකත් සමහරු තමන්ටම කරගන්න බරපතල හානියක්. තමන් හුඟක් දේවල් දන්නා බව පෙන්වන්න ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් තමන්ගේ අදහස, උපදෙස ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කියලද ඔයා හිතන්නේ..? තමන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව පෙන්වීම, එහෙම නැත්නම් තමන්ගේ දැනුම ගැන අනික් අයට පෙන්වීමෙන් ඔවුන් අතර නිළලත් තත්වයක් ලබාගැනීම වගේ යමක් විය හැකියි. ඒ කොහොම වුනත් එතනින් සිදුවන්නේ ඔවුන් පිළිබඳ අසුබවාදී ආකල්පයක් අනික් පිරිස තුළ ඇතිවීම. කල්පනා කර බලන්න. විශේෂයෙන්ම ඔයාගේ රැකියා ස්ථානයේදී ඔයාට මේ වර්ගයේ අය බොහොමයක් හමුවෙලා ඇති. ඔවුන් හැමෝගෙම අවඥාවට ලක්වනවා නේද..? බොහෝ දෙනෙක් ඔවුන් එක්ක එකට වැඩ කරන්න කැමති නැහැ නේද..? තමන් දන්නා බව පෙන්වීමට අනවශ්‍ය මැදිහත්වීම් කිරීමේ ප්‍රතිඵලය ඒක තමයි. ඒ නිසා හොඳම දේ තමන් ඉදිරිපත් විය යුතු තැනදී පමණක්ම කතාබහට සම්බන්ධ වී අනික් සෑම අවස්ථාවකම නිහඬ වීම සහ අසා සිටීම. ඒක තමයි ඔයා කළ යුතු හොඳම දේ.

 

විශ්වාසයෙන්, බුද්ධිමත් බවින්, පෞරුෂයෙන් සන්නද්ධ වීම

ඔයා කතා කරන ඕනෑම දෙයක් ගැන දැඩි විශ්වාසයෙන් යුතුව ඉන්න පුරුදු වන්න. ඒක තීරණය වන සාධක බොහොමයක් තියෙනවා. ඔයාගේ විෂය ක්ෂේත්‍රය ගැන ඔයාගේ දැනුම, නිරන්තර අභ්‍යාසයේ දීම වගේ දේවල් වලින් මේ විශ්වාසය ඔයා තුළම ගොඩ නැගෙනවා. එහෙම විශ්වාසයක් ඔයාට තියෙනවා නම්, ඔයාගේ පෞරුෂයත් ගොඩනැගෙනවා. කිසිවකුට දෙවැනි වන්නට හෝ භීතියකින් පසුබෑමකින් කටයුතු කරන්න කොහෙත්ම අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. ඔයාට ඔයා ගැන සහ ඔයාගේ පරාසය ගැන විශ්වාසයි නම්, ඔයාගේ ක්ෂේත්‍රය ගැන ඕනෑම වෘත්තීය සංවාදයකට, සාකච්චාවකට එළඹෙන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසා මේ විශ්වාසය සහ පෞරුෂය ගොඩනගා ගැනීමත් ඉතාම වැදගත් කාරණයක්.

වෘත්තීය මට්ටමින් වගේම සාමාන්‍ය ජීවිතයේදී පවා තමන් smart කියල උවමනාවෙන් පෙන්වා ගන්න පිරිස වැඩියි. බොහෝ දෙනෙක් විවිධ ආකාර වලින් මේ වැඩේ කරනවා කියන කාරණය පැහැදිළියි. ඔබේ රැකියා ස්ථානය, මිතුරු කණ්ඩායම් වගේ තැන් දිහා හොඳින් බැලුවොත් ඔබට මෙවැනි මවාගත් චරිත හමුවනු ඇති. ඔවුන්ගේ වචන සහ අදහස් smart කියල පෙනෙනවා වුනත් අභ්‍යන්තරයේ ප්‍රායෝගික තලය අරගෙන බැලුවොත් මේ පුද්ගලයන් සම්පුර්ණයෙන්ම වෙනස්. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් “මේ ආකාරයි” කියල පෙන්වීම පමණයි. ඒ නිසා එවැනි පුද්ගලයින් පිළිබඳව අවබෝධයෙන් සිටීම සහ ඔබ තුළින් එවැනි දේ මතු නොවීමට වගබලා ගැනීම අතිශය වැදගත්.

Smart විදිහට සන්නිවේදනය කරනවා කියන්නේ මතුපිටින් පෙනෙන තරම් සරළ කාරණයක් නොවෙයි. වෘත්තීය සහ සාමාන්‍ය ජීවිතයේ හොඳ සන්නිවේදකයෙක් වීම තුළින් ඔබට නිසි වෘත්තීය භාවයක් වගේම ගැටළු අවම ජීවන රටාවකටත් හිමිකම් කියන්න හැකිවේවි. හොඳ සන්නිවේදකයකු සතුව ඉලක්කගත තියුණු සන්නිවේදන හැකියාවක් තිබෙන නිසා එවැනි අයෙක් සමග වැඩ කිරීම සහ ජීවත් වීම කියන දෙකම වඩා පහසු වනු ඇති. මේ කරුණු ගැන නැවත නැවතත් සිතා බලන්න අපි ඔයාට යෝජනා කරනවා. ඔයා ඉන්නේ කොතනද කියල ඔයාටම අදහසක් ගන්න වගේම වෙනස් කරගත යුත්තේ මොනවාද කියන කාරණයත් ඔයාටම අවබෝධ වේවි.


නිසන්ක

nisa