Monday, August 24, 2026
Follow Us
අපි අපට අයිති නැති බව
රන් තරු පිරි රෑ අහසට
ඇවිදින් ඉල් මහ පුර සඳ
මා තනිව සිටින බව දැන
ඔබගෙන් අසාවි ඒ ගැන...
රතු කැකුළු මලින් හැඩ වුන
අර ගලහ පාරෙ මැයි ගස
ඔබ තනිව යනෙන බව දැක ඔබගෙන් අසාවි මා ගැන....
කඳු පාර දිගේ තනියම
සුදු පාද තබා ඇවිදින
ඔබ දෙසට එබි තරු කැට
ඔබගෙන් අසාවි මා ගැන...
ඇහි බැමට උඩින් රඟදෙන
කළු උපන් ලපය ඉකිබිඳ
ඔබ තනිව නිදන මොහොතක ඔබගෙන් අසාවි මා ගැන...
සඳ සදිසි නළලෙ රඟදෙන
සුදු පිච්ච සුවඳ තැවරෙන
මෘදු කියඹු ලතා ඉදහිට
ඔබගෙන් අසාවි මා ගැන...
වම් කොපුල මත්තෙ වැතිරෙන
රතු කුරුලෑ මල් නිතරම
මගේ හාදු පොකුරු සිහිකර ඔබගෙන් අසාවි මා ගැන....
මහවැලිය නපුරු වෙස් ගෙන හන්තාන එක්ක බැණ බැණ
මද සුළඟෙ ඒවා පණිවිඩ
ඔබගෙන් අසාවි මා ගැන...
ඔබ ගමේ ගියපු දවසක
ගේ ගාව ඇහැළ මල් ගස
අපෙ සොඳුරු මතක සිහිකර ඔබගෙන් අසාවි මා ගැන..
රතු රෝස දෙතොල උල් කර
සුදු පුංචි මුහුණ ඇල කර
ඔබ කියන්න ඒ හැමටම
අපි අපට අයිති නැති බව

 -සචින්ත