Saturday, January 24, 2026
Follow Us
ඉවසීම,
සමාවදීම ,
මාතෘගුණය ,
කරුණාව,
මෙෙත්රිය,
අවබෝධ ය ,
ආදරය ,
බැඳීම ,
තාදී ගුණය ,
දුරදක්නා නුවණ
එතෙර දකින්න පාරමීපුරන,
කුසළසම්පන්න ස්ත්රීත්වය ....
මුල් ,
මල් ,
පල දරණ මහපොලොව වගේ.
හිස්ම හිස් අහස වගේ.
ඉර, හඳ , තරු , වලාකුළු , සුළඟ , වැස්ස, හෙණ , දේදුණු කොච්චර අවධානෙ ඉල්ලුවත් අහස ඇඬුවෙත් නැහැ හිනාවුණෙත් නැහැ.
ලෝකය දෝතට ගත්තු අම්මා ඇයයි.
දුකට කියන සමාන වචනයක් ඇය.
මඩේ ආධාරයෙන් පිපුන නෙළුම ඇයයි.
ලෝකයේ මහාමායාව අවබෝධයට
ස්ත්රීත්වය තරම් උතුම් භවයක් තවත් නැහැ .
තනිව දරාගැනීමේ අයෝමය ශක්තිය මෙන්ම ඈ ආශ්චර්යය සම්පන්නයි.
ඇය ඇය තුලින්ම පරිනත වෙනවා.හෙණ ගහලා පොලොව පැලෙන්න ඕනි සාරවත් නව ආරම්භයකට. සුන්දර හුදකලාවට ඇය අවනත වෙනවා.
ඇගේ ජීවිතයම දානයක් .
ඉවසීම සීලයක් ; භාවනාවක් .
අවබෝධයෙන් විදසුන වෙත යැවෙන මේ මොහොතෙ පිහිටන්න ඇය සංසුන් .
සිතුවිලි දිහා බලාගෙන
මුණිවතින් ඉන්න ඇය ප්රඥාවන්තයි.
මරුවැල් මගහැර යන්න ඇය දූරදර්ශියි. අනුන්ගේම සතුට වෙනුවෙන්ම
හුස්ම ගන්න ඇය පරාර්ථකාමියි.
ඇය ඇගෙන්ම ඉගෙන ගන්නවා.
අනිත්ය සිතුවිලි මත
අවබෝධය පතිත වෙනවා.
අනාත්මය දුකට හේතුව දකිනවා.
පරිනත ගැහැණිය
මහා කන්දක් වගේ ප්රතාපවත්.
තමන්ව පරාජය කිරීමට තරම්ම ඈ
පාපිස්නක් සේ නිහතමානියි .
ඉතිං මා බිඳින්න ;
මා ඔබගේ සරණ යමි.
අවමානයෙන් මඟ අහුරන්න ;
හද පුදසුන මලින් සරසමි.
ඇවැසි තැනදිම හැරයන්න ;
දෙවොලක් කර නොනිමෙන පහන දල්වමි.
මම මා වන්නේය
මම මා නොවන්නේය.
 
ජීවිතයේ අපහසුම තැන් වල
තනිවූවෝ භාග්යවන්තයෝය.
හුදෙකලාවේ අරුමය
නිහඬව ආමන්ත්රණය කරනු ඇත.
 
තමන්ට තමන් පමණයි මෙන්ම
තමන්ගේ නිර්මාතෘ තමන්ම බව
කවුදෝ තමන් තුලින්ම
කොඳුරණු ඇසෙනු ඇත.
තමන්ට තමන්ව සොයන්නට
අත වනන්නේ තමන්මයි.
 
ප්රාණසමව නඩත්තු කල ,
හුස්ම සේ සාත්තු කල
ආදරණීයයන් ලඟ
වතුර පොදක් නොලැබෙන්නම
එක්තැන් වන්නෝ භාග්යවන්තයෝය.
තමන්ට තමන්වත් නැති බව දකින්නෝය.
 
ඔවුන් මේ ලෝකය දෙස
සාවධානව බලන්නට පෙලඹෙති.
ගැලපීමක් නැති ජීවිතය කලඹා
පතුල සොයා මුලටම චාරිකා කරනු ඇත. අල්ලා ගත් සියල්ලෙහි
අල්ලා ගත් කිසිවක් නැතිබව
අනාවරණය කරගනු ඇත.
 
දෙමාපියන් විසින් ම
දුන් දේට නඩු කියන්නෝ ...
සහෝදරයින් විසින්
මායිම් වෙනස් කරන්නෝ...
දරුවන් විසින් පාරට ඇදදමන්නෝ
නින්දෙන් අවදිවන භාග්යවන්තයෝය .
 
බැඳීම් තුල ඇති බිඳීම් දෙස
බැඳීම් තුල ඇති බොරුව
බැඳීම් යැයි සිතා නඩත්තු කල මායාව
ලෝකය නමැති මඬගොහොරුවේ ගඳ
ඔබව නෙළුමක් බවට පත් කරයි.
ඒ සුවඳින්ම සුවපත් වේ.
ආශ්වාදය
ආදීනව .... නිස්සරණය
ශ්‍රීමතී වල්පොළ