අරුණෝදයක පැහැබර බව උරා බිබී
මිහිදුම් වලා පෙළ රජ වී බලා සිටී
සීතල සුළං රැල්ලෙහි ඇති සොබාගතී
සඟවා රුක් ගොමුත් ගුලි වී නිදිය ගර්ත
සූරිය මඩල වෙනදා මෙන් නැගෙනහිර
සමනල කන්ද අද මගහැර ගොසින් වද
අළු පැහැ උදාවක වැහිබර බුරුල්ලක
පිනි බිඳු එරී පුබ්බරු වී බලන් ඇත
දුම්බර වලා ගුලි ගුලි වී වෙල මත්තේ
පෙම්බර සිනාවක පැටලීගෙන ඇත්තේ
ඈතින් ඇසෙන බට්ටිචි තාලම් හඬ රොත්තේ
හොරණෑ පිඹින පළඟටියන් තව අඩු නැත්තේ
පිනි බිඳු පලස් අතුරා තණපිටිය මත
වයිරෝඩියක කුඩු පිඹලා වගේ ඇත
ඉඳහිට තැනක මකුණෙකුගේ දැලක් මත
මණිමේකලාවක පැහැබර සිරිය ඇත
කිරලෙකුගේ හඬට මුහුවුණු අළු කොබෝ හඬ
පරදා මොනර නද හඬ දෙයි දුර ඈත සිට
කවුඩෙකු සමග දොඩමළුවන කවුඩියකගේනද
පුබුදයි මේ උදෙත් රස අනුරාගයක හැඩ
මහ රෑ වැටුණු මහ වැස්සෙන් විඩාවුණ
අඹ දළු තුරුළු වී තවමත් නිදාගෙන
කුමට ද ඇහැරවන්නේ යැයි කියාගෙන
සීතල සුළං එයි පොළොවම බදාගෙන
සීතල කපුරු මලකින් රොන් ගන්න උරා
රුං රුං කියා බඹරුන් එයි අලස මරා
උණුහුම සිසිල කැටි උණු මී වද පොකුරු පුරා
රැස් වුණු පැණි බිඳෙත් දුන්නෙම ආදරය කිරා
සිරිසර සොබා දහමක අම ගුල් මත්තේ
වෑහෙන අමා ගඟුලක කිමිදිය යුත්තේ
පෑරෙන රිදෙන කඳුලැලි දුක් ගිනි මත්තේ
කුමට ද තවත් ඉපිලීගෙන පිහිනිය යුත්තේ
-නිහාල් සෙනරත්