අවසන් පැයට
එළියක් නොම වැටී
අඩ අඳුරකි පැලට
වෙනදට හෙමින් වට
පිනි මෙනි කඳුළු කැට
හිත යට නුහුරු මොනවද
කිව්වා සැරට
හිනා මුව නිතර
නෙත් අද අඩ නින්දේ
වාගේ දුටුවෙ අද
මං නුඹ ගාව ඇඳේ
ඇහුවට කිසිත් නොදොඩා
මේ මොකද වදේ
නුඹ අද හරි වෙනස්
ඇයි රිදුමක්ය හදේ
අදහාගනු නොහී
ළබැඳින් ගොළු වූවා
උණු කඳුළුම උන්
නෙත් අග රිදවූවා
හදවත ඉකිගසා
තුන්යම ළතැවූවා
නුඹේ නමින් මතකය
දිව රෑ හැඬුවා
සෙනෙහස ගලන නෙත්
සදහට පියවීද
මසවුළු බෙදූ දෑතම
ළය මත වීද
දූ දරු සෙනෙහසක්
යළි උතුරා යාද
සුදු හාමිනේ අප
අතහැර යනවාද
දිනේෂ් හේවාවිතාරණ