හේවිසි හඬ ඇසෙන මායිමේ
දොරගුළු වැසුනට මයෙ අම්මේ...
දවසක් එනු ඇති මේ සංසාරෙම
බුදුන් දකින්නට
අදට වඩා හොඳ හැටි අම්මේ...
මැරෙන්න කලියෙන්
එකම වරක්,
දළදා වදින්න ඇත්නම් කී අම්මේ...
කාලය විරසක වුණාද දන්නෑ...
මොනවද උඹ කළ පව් මයෙ අම්මේ...
ගඟක් වගේ මිනිසුන්
එක පොදියට ආවත්
රැල්ලක් මිස නෑ
සීලය දැක්කේ...
තුන්තිස් පැය පඬුරු ගැට ගසා...
බාර වෙච්ච උඹ
මොන සීලෙද එහිදී කැඩුවේ...
සමාවෙන්න
දළදා හාමුදුරුවනේ...
අම්මා ආවේ හැරමිටියෙන්...
බැරි බැරි ගාතෙන් අම්මා එද්දිත්
බොසත්වරු කොහෙදෝ හිටියේ...
බුදුරුව දැකලා බුදු බණ අසලා
දෙව්රම් වෙහෙරත් ළඟට ගහින්
එදත් මේ වගේ හැරිලා එන්නැති
ඉවසාපං මයෙ සුදු අම්මේ...
බුදුහිමි දැැකගන්නා සතුටින්
අම්මේ හිටියත් උඹ පේවී...
දවස් දහයකින් කොහොම වඳින්නද...
නිවනට දින නෑ මයෙ අම්මේ...
© ගීත් ගුණසේකර