Friday, March 14, 2025
Follow Us
මම මගේ කරගත් පසු
කාලයක් මම ලෝකයේ ඉන්න
හොදම දරුවා වෙන්න උත්සාහ කළා . කාලයක් මම ලෝකයේ ඉන්න
හොඳම බිරිඳ වෙන්න උත්සාහ කළා .
කාලයක් මම ලෝකයේ ඉන්න
හොඳම මව වෙන්න උත්සාහ කළා .
ඒක පරාර්ථකාමී හැඟීමක්ද ????
නෑ
මම මාවමයි රාමු කරලා තිබුණේ ...
මම මා වෙනුවෙන් ප්රතිරූප ගොඩ නැගීමයි කරලා තිබුණේ.එය කෙතරම් අසීරු ගමනක්ද
මම ඒ හැමෝගෙන්ම ආපහු ස්තුතියක් හෝ බලාපොරොත්තු වෙලා තිබුණා .ඒත් සොබාදහම ඒකට සූදානමින් හිටියේ නෑ. ලෝකය හැල්මේ දුවද්දි හිත රිදුන මම නැවතුනා .ඇඬුවා . කවුරු මොන දේ කලත් මගේ සුපුරුදු චර්යාව එහෙමම තිබුණා.මම කොච්චර කැපවීම් කළත් අනෙක් අයගේ සුපුරුදු චර්යාව එහෙමම තිබුණා .
දෙමව්පියෝ වෙනස් වෙනකම් බලන් ඉඳලා , සැමියා වෙනස් වෙනකම් බලන් ඉඳලා ,
දරුවො වෙනස් වෙනකම් බලන් ඉඳලා ...
මම මම වෙනස් වෙනකම් බලන් හිටියා .
උපතින්ම දත්ත කවපු රොබෝලා වගේ දත්ත වලට අනුව මිස මගේ කියලා අනන්යතාවයක් ගොඩනැගීමේ අයිතියක් මට තිබුණේ නැහැ.
ඇත්තටම මම කවුද ?
මම ඒ ප්රශ්නයට උත්තර හොයන්න ගත්තා.
ධර්ම දේශනාවලට සවන් දෙන්නත් , භාවනා කරන්නත් යොමුවෙද්දි මම සුදු අඳින්න පටන් ගත්තා .සිල්වත් චරිතයක් හැටියට මම මාව රාමු කළා .ඒ රාමුව නඩත්තු කළ යුතු වුණා මිස නිදහසක් තිබුණේ නෑ .
නිවන ...
ජීවිතය...
ප්රහේලිකාවක්
දුකක්
කරදරයක් ,
මම මගේ ජීවිතේ කියල හිතුවට මට මා වෙනුවෙන් කරන්න දෙයක් තිබුණෙ නෑ.සියල්ල සිදුවෙමින් පවතී.
එහි
අනිත්ය බව
දුක්ඛ බව
අනාත්ම බව
සොයා යන ගමනේ පාලි ඉගෙන ගෙන හෝ මට මාව නිවන් දැක්වීමේ වුවමනාවක් තිබුණා .මොකද මම දන්න කාලේ ඉඳලම මගේ ඇතුළේ ඉඳන් කෙනෙක් නිතරම කිව්වා දුවන්නන් වාලේ දුවන එක ජීවිතය නෙමෙයි කියලා.දිනුම ලඟදිත් පරාජය ලඟදිත්
මට මාව අත ඇරෙන බවක් දැනෙමින් තිබුණා.
ත්රිපිටකය
අභිධර්මය
ඇහෙන හැම ධර්ම දේශනාවකින්ම මම මගේ දැනුම ගබඩා කරමින් වර්ධනය කළා.මාව රාමු කරමින් නඩත්තු කළා.මගේ අවබෝධය වින්දනය කලා .නැවතීමක් නෑ.එතෙර සොයා යා යුතුව තිබුණා. හිටියාටත් වඩා විඩාබර මුත් මාව මුදවා ගන්න නම් නිවන් දැකිය යුතු බව මම තරයේම අධිෂ්ඨාන කළා.
අතහැරීම 
ඇත්තටම අත්හල යුත්තේ කුමක්ද ?
දෙමව්පියන් ,
සැමියා හෝ බිරිඳ,
දරුවන් ,මුනුපුරන් ,
තියෙන වත්කම් ,
විඳින සැප ....
අතින් අත් හැරීම ලේසියි.
ඒත් සිතින් අත්හරින්නේ කෙලෙසද ?
 
මම කියා කෙනෙකුත් නැති නම්
අත්හරින්නට කියා කිසිවෙකුත් නැතිනම්
නිවන කියා තැනක් තිබිය හැකිද ?
ඇතැයි කියා අල්ලා ගත් මේ මායා ලෝකේ
සත්යය විනිවිද දැකීමෙන් ලබා ගන්නා අවබෝධය ( ඤාණය ) ඔබව දුකින් මුදවයි .
මරණ බියෙන් මුදවා අජරාමර කරයි .
 
ඔබ අඳින ඇඳුමෙන්වත් , ඔබ ගන්නා ආහාරයෙන්වත් අවිද්යාව දුරු නොවේවි .සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුගමනය කිරීමෙන් ඔබත් පටිසෝතගාමී වන්න .ලෝභ ද්වේෂ මෝහයෙන් මිදීමට පටිච්ච සමුප්පාදය ඔබට ඉවහල් වේවි.
ලෝකයෙහි ඇති
අනිත්ය ,
දුක්ඛ ,
අනාත්ම
බව ම ඔබ සැමට අවබෝධ වේවා!
දැවෙන සිත් නිවේවා 
 
ඇඳිවත හමුවන තුරු
නිරුවත ප්රශ්නයක් නොවේ .
ඇඳි වත හමු වූ පසු
නිරුවත කියා දෙයක් ද බිහිවිය .
ඇඳි වත නැති තැන
නිරුවත කියා දෙයක්ද නැත .
මම මගේ කරගත් පසු
ලෝකයට අගයක්ද සීමාවක්ද ඇත .
 
...ශ්රීමතී වල්පොල ...