"ලොක්කියේ උඹ කැමතිද"
පුංචි හාමු ගෙනා යෝජනාවට
අම්ම එහෙම අහනකොට
මන් බැලුවෙ කුස දිහා
මගේ මෝරගෙන එන
"අයාලෙ ගොස් නෙවෙයි
වැරදුණේ මට මෙහෙම
කෙනෙක් දෙඩූ පෙම් වදන්
විස්වාස කළ පවට"
මැටි පොළොව කිරුටු ගා
මන් එහෙම කියනකොට
පොඩි හාමු නැගිට්ටේ
රවා මෝරපු කුසට
"දැන් මොනා කරන්නද
කණ වැන්දුම් වුණා උඹ නොබැඳම"
අනේ වුණ වින්නැහිය
අම්ම විස්සෝප වුණා හැමදාම
ඒත් මගෙ කුසට ආ කිරි කැටිය
මහමෙරක් වටිත්දිම
රැකගත්ත මන් කුසට
සෙත් පිරිත් ඇහෙත්දිම
"ඕන් බලපම් විසේ"
ගමේ උන් කසු කුසුව
මන් උන්ට හිනැහුණා
නෑ කොනකවත් කහට
ආදරේ තිළිනයක් ලෙසින්
කුස වෙත ආව
මගෙ පැටිය මහමෙරක්
හදමි අප්පත් නැතුව
දුවෙක්දෝ පුතෙක්දෝ
දැන ගන්න නෑ ඕන
මන් මැහුවෙ ගෙත්තමින්
ඇඳුම් පොඩි දෙන්නටම
වෙන අයට වගේ මට
නෑ දැණුනෙ ඇඟ වෙහෙස
"පිං කඳක් ඇති බඩේ"
අම්ම කිව්වෙත් එහෙම
දිනෙන් දින දෙගුණයක්
මගේ කුස මෝරත්දි
දඟ පයින් පහරවල්
සියුම් ලෙස රිද්දද්දි
බැනපු උන් ගෙට ඇඹුල්
පොදි අරන් ගොඩවෙත්දි
මට හිතුන මගෙ පැටිය
පිංකඳක් කල් යත්දි
"බලාපන් කෙල්ලෙ උඹෙ
මූණු ඩිංගෙ පිං පාට"
දකින උන් කිව්වෙ මගෙ
මුව දිහා බලාගෙන
උස්සගන්න බැරි කුසට
එක අතක් තියාගෙන
මන් ඇවිත්දෙ පංසලේ
වැලි මළුවෙ හැමදාම
දස එකඩ මසක්
මන් ගෙවාගත්ත දුක නැතුව
අම්ම නම් දැන් බයේ
රෑ තිස්සෙ ඇහැරගෙන
හරියටම ඇසළ පුන්
පෝ දිනක මහ රෑක
කෑ ගෑවෙ විලි රුදා
ඉවසන්න බැරි තැනම
ගමේ ඉස්පිරිතාලෙ
මන් හිටියෙ ඇඳක් උඩ
නැතිවෙච්ච සිහි ලැබුණෙ
අනේ මහ පාන්දර
පුන් හඳක් තන පුඩුවෙ
කට තියන් කිරි උරන
ඇත්තමයි තව මලක්
අපේ අම්මගෙ අතක
"මයෙ පුතේ මල් වගේ
දරුවො දෙන්නෙක් උඹට"
ඇත්තමයි මට ඇඬුණ
දැණුනු දරු සෙනෙහසට
උරුමකම් කියන්නට
කිරට හැරවුණු ලෙයට
පුතෙක් විතරක් නෙවෙයි
දුවක් ලැබිලා පිනට
"හදමු අපි කොහොමහරි"
අම්ම කිව්වම එහෙම
"ඔව් අම්මෙ මට පුලුවන්
අප්ප නැතුවට මොකට"
ළැම මත්තෙ ගුළිවෙලා
තරඟෙටම කිරි උරන
මන් කිව්වෙ දැන් උපන්
දරු දෙන්න තුරුළු කර
මන් කවී රත්නායක