Wednesday, January 22, 2025
Follow Us
මැදපෙරදිග ගිය අම්මාට..දෝණීගෙන් ලිපියක්

ඉර හඳත් මට ඕන
නෑ කියලා කියන්නම්
ඇස් නටන බෝනික්කො
එපා සිත රිදෙයි දැන්
නින්ද නැති රැය ගෙවෙන
හැටි ඔබට දැනේනම්
පියඹලා එන්න ගේ
ඇතුලෙ තනි වෙලා මන්...........................
ඊයෙ ඉස්කෝලේ මගෙ
ගවුමෙ ලේ පැල්ලමක්
ගුරුතුමිය වහන් කර
ගැංගුවා මන් ටිකක්
නොතේරුම් කමට ඇස්
රතු උනා කප්පරක්
අම්මා ගෙදරද අහපු
විටදි ගොළු උනා මන්................................
විමලා නැන්දා ඇවිත්
එක්ක ගෙන ගිය සැනින්
කාමරය තුලට දැම්
බැන බැනම නම් ඉතින්
මහ ගෑනි රට ගිහින්
වදය අපටයි ඉතින්
කී කතා සේරමට
පිච්චුනා හිත තදින්..................................
වැනි වැනී අප්පච්චී
ගෙදර ආවා රැයෙන්
දෝණී මගෙ කිය කියා
දොරලඟම හැඩුවා දුකින්
මක්කරන්නද දෝණී
තේරෙන්නෙ නෑ මුකුත්
ඔහු හූල්ලන හඬට
නින්ද නෑ ගියෙ මටත්............................
නෑදෑයො මඟ හරින
කසු කුසුව දැනි දැනිත්
නිහඩවම අප්පච්චී
ඉන්න එක දුක මටත්
නැකත් දා අලුයමේ
කුකුළා හඬලන හැටිත්
දෑස කදුළින් පෙගුනා
දොර ඇරුන විට මටත්............................
සුදු රෙද්ද අත අරන්
රතු වෙච්ච ඇස් දරන්
දොරකොඩ ම අප්පච්චී
අම්මෙ කළයත් අරන්
පුතේ උඹෙ අම්මා තැන
ගත්තා පපුවම දරන්
කළ හතම නෑව්වෙම
අප්පච්චී හරි සෙනෙන්.............................
අඬුව මට නොදැනෙන්න
ඉම්බා කම්බුල් සෙමින්
වැද වැටුනෙ දෙපා මුල
මව් ගුණය සිහි කරන්
ඉල්ලුවෙම එක වදන
දෝණී මේකයි කියන්
පුතේ දැන් වත් ඉතින්
අම්මාව කැදවපන්..................................
 
B.M.N.බස්නායක