Monday, September 16, 2024
Follow Us
වාරු නෑ දැන්
මගේ අත පය වාරු නෑ දැන්
මහළුවිය දුක්බර නිසා
අතීතේ ඒ මතක පමණක්
හුස්මකට හයියක් වුනා

එදා නිම වූ පිළිම දෑතින්

ආයෙ මතකෙට සිහිවෙලා
හීං සීරුවෙ සතුටු කඳුලක්
නෙතු අගින් පිටමං උනා
කළුගලින් බුදුරුව මවන්නට
දිවා රෑ මා වෙහෙසුනා
සිවුරෙ රැල්ලක් ගානෙ මාගේ
අතේ හයියෙන් සැකසුවා
අමා මහ බුදු හිමිගෙ මුහුණේ
තියෙන කරුණා බව මවා
ගන්න මං මගෙ මුළු හදින්
පේ වෙලා එයටම කැප උනා
තරුණ කාලේ හිතේ සංවර
කමේ අඩුවක් නොතිබුනා
මා මැවූ බුදු හිමිගෙ මුහුණේ
මෛත්රිය තව වැඩි වුනා
ඉසුරුමුණියේ පෙම් යුවල ළඟ
මගේ හිත නොසැලුන නිසා
දුකක් නැතුවම හිතේ සතුටින්
ජීවිතේ මං තනි වුනා
කවුරු හිටියත් මේ ගමන් මග
තනිව යන්නට වෙන නිසා
අටලෝදමින් හිත හදාගෙන
දිවිය මෙලෙසට යයි ගලා
බුදුන් රුව ලග දොහොත් මුදුනත
තබා වැන්දත් දණ නවා
කවුද හෙව්වේ මේ පිළිමෙ තැනු
ගල්වඩුව දැන් කෝ කියා
✍️...නදී විජේසූරිය