Sunday, September 08, 2024
Follow Us
රාත්‍රී කාර්ය භාර මල
හැන්ඳෑවෙ පහත් පහුවෙල ඇහැඇරුණු
හෙන්දිරික්කා මලක්
දනි පනි ගාලා ඇදෙන් පැන්නා
කව්රුත් දකියි කියල
හෙමින් අඩි තිය තිය එනකොට
පරවෙන්න ලංවෙච්ච කටරොළු මලක
බලෙන් රොන් උරන
බට්ටිච්චෙක්ව දැකල
හක හක ගාලා හිනා ගියා
ඒ සද්දෙට ලැජ්ජාවෙන්
හැරිල බලපු බට්ටිච්චා
" රෑ වෙනවා මං ගෙදර යනෝ " කියාගෙන
සුරුස් ගාලා ඉඟිළිලා ගියා
දැන් ඉතිං මක් කරන්නද
දවල් දවසේ කාර්ය්භාර මලත් එක්කම
ඔක්කෝම මල් පරවෙලා
දවල් වෙච්ච දේවල්
ඇයි හතරෙන් පස්සෙ වුනු විශේෂ සිදුවීම්
අහගන්නෙ කාගෙන්ද
මහා ඈණුමක් ඇරපු හෙන්දිරික්කා මල
ලොග් සටහන් පොත අරන්
ලියන්න පටන්ගත්තා
" සවස හතරේ පැයට
රාත්රී කාර්ය්භාර මල වශයෙන්
නිවැරදිව රාජකාරි භාර ගතිමි
ඉර සෙමින් බැස යමින් තිබෙන අතර
උයන පුරා වියළි කොල වැටී ඇත
කාළගුණය පැහැදිලියි "
ඒක ලියනවත් එක්කම
හෝස් ගාලා වැහි කුණාටුවක් පාත්වුනා
ලොග් සටහන් පොත හුළගට ගහගෙන ගියා
තිගැස්සුන හෙන්දිරික්කා මල
දඩි බිඩි ගාලා කාර්ය්භාර නිලධාරී ඇදුම් දාගත්තා
කියාගෙන තමන්ටම,
" දැන් ඉතින් උත්තර බදින්න වෙයි ඉහලට!
හදිසි අනතුරු ඇඟවීමේ සීනුව නාද නොකිරීම
සහ දැනුවත් නොකිරීම සබැඳිව
රෑ පිපෙන අනිත් මල් "
 

-Prasad Udugamasooriya