Sunday, September 08, 2024
Follow Us
තවත් කවියෙක් ලෙසින්
කිනිහිරක් මත තලා තදකර ගින්දරෙන්
පන්නර තියා
හදවතක් හයියට හදන්නට බොහෝ රැයක්
ගෙවිලා ගියා
සිතුවෙ වත් නැති හොඳම පදමට තැලිල මගේ
හිත හයි වුනා
පදම දැනගෙන පංහිඳත් තව තියුනු වී මුව
හත් වුනා
තවම හදවත සටන් කාමියි වරද දුටුතැන
නැගිටිමී
ලියන පදවැල් වැරදි හිත්වල බයන්කාරව
ඇත පෙනී
යුක්තියට මිස අසාධාරණ දෙයට මම හිස
නොනමමී
දුක් විඳින උන් ගැනම ලියලා උන්ගෙ නාමෙන්
මිය යමී
නවමු කවිමල් කැකුලු අරගෙන යලිත් අලුතෙන්
පිපුනෙමී
වැරදි දෙය වැරදියට දකිනා කොන්ඳ ඇති කවියෙක් වෙමී
එල්ලුවත් හෙට ලියන්නට හැකි ඇත්ත ඒ ලෙස
ලියනෙමී
වැලලුවත් යලි වැරදි කවියක් පංහිඳෙන් මම
නොලියමී
දුකට කඳුලට හඬන බඩගිනි හිත්වලට කවියක් ලියා
සතුට කැන්දන කවිකාර කවියාගෙ යුතුකම
හිත තියා
තැලෙන පොඩිවෙන උන්ගෙ හිත් ලඟ රතු මලකවී පීදිලා
මගේ යුතුකම ඉටු කරමි මම ඇත්ත ගැන
කවියෙන් ලියා
දනන් ඔනෑ තරම් තව එයි දල ඇතුන් සේ
මද කිපී
තවත් පැමිණිලි කරයි හෙට දින මගේ කවි
ගැන බය සිතී
තැබූ පියවර ඉදිරියට මිස යලිත් ආපසු
නොගනිමී
පංහිඳට ඇතිවෙන තුරා මම යුක්තියට කවි
ලියනෙමී
බොලඳ පැමිණිලි වලින් හිතුවත් අගුලු ලන්නට
කවි සිත
තවත් හරි මග කවි ලියනවා රිදෙන්නෑ මගේ
හද වත
රැයක බල්ලන් හඳට බිරුවට එයින්නම් මට
කම් නැත
තවත් කවියෙක් ලෙසින් මිය යමි රටට යුතුකම්
ඉටු කල
 
මහේෂ් චන්දන