ඉර හඳ පවා නොපෙනෙන මහ පවුරු මැද
සීතල , අඳුරු , දුක්බර කුටියකට වැද
මේ දඬුවමයි මා කල වරදකට ලද
සිපිරි ගෙදර අම්මේ මම වෙසෙමි අද
පුංචිම කාලෙ මා නුඹෙ උණුසුමෙහි තියා
සිත සැනසුවා මට රසබර කතා කියා
රජකම පතා දස වද දී නැතිව දයා
කිව්වා අජාසත් මැරු බව ඔහුගෙ පියා
නිතරම සුරාවෙන් මත් වී ගෙදර එන
හිරිහැර කලා ඔහු , නුඹ දඩයමට ගෙන
ඇති දැඩි වුනත් යන්තම් හය හතර දැන
මම ළත වුනේ නුඹ විඳි වේදනා ගැන
කවදත් වගේ ගුටි බැට කරමින් එල්ල
සිර කළ මොහොතකදි ඔහු අම්මගෙ බෙල්ල
බැරි වුන නිසා මට කරගන්නට මෙල්ල
එසවුනි ඔහුට එරෙහිව ගෙයි දොර පොල්ල
පණ සුන් සිරුර ගෙයි සාලේ ඇද වැටුනා
නුඹ නැගු විලාපය ගම් හතකට ඇහුනා
මෙතුවක් අප පෙලූ දුක් ගිනි සන්සිඳුනා
නුඹෙ පුතු අජාසත් වී දඟ ගෙට යැවුනා
සෙනෙහස බිඳක් නැතිවට කිසිදින ලැබුනේ
ඔහු වනසන්න සිතුවිල්ලක් නැහැ තිබුනේ
නුඹ මුදවන්න ඕනෑ හැඟුමයි දැනුනේ
නපුරුම සිහිනයකි අම්මේ ඒ ගෙවුනේ
ලද අවසරෙන් හිමි දඬුවම් නිමා කොට
අම්මේ ඉවසපන් මම එනතුරා ගෙට
ලෝකය කෙසේ බැලුවත් මා දිහා හෙට
තද කර ගනින් මා පපුවට තුරුලු කොට
මැදියම් රෑට නුඹෙ දුක්බර නැළවිල්ලේ
හඬ ඇසෙනවා දැවටී එන පවනැල්ලේ
විය යුතු දෙය වුනා පල නැත ලතැවිල්ලේ
අම්මේ නිදියපන් දැන්වත් සැනසිල්ලේ...
- නයනි වෛද්යරත්න