දවස සොඳුරුයි දසුන මිහිරියි
හතර වරිගෙම ඇස් ළඟයි ...
නේක සැරසිලි සතුටු හසරැළි
වටපිටාවම ලස්සනයි ...
ජීවිතේ මගේ සුභම දවසේ
දෑසමත බෝ දේ ගැටෙයි ...
දුකට ,සතුටට වැටෙන කඳුලට
කියන්නට නෑකම් ගොඩයි ...
මනාළිය වී මාව දුටුවිට
ඔහුගේ ඇස්දෙක හිණැහුනයි ...
ඇසුත් නහයත් පිසින හින්දම
හැමෝගෙම ඇස් ඔහු දෙසයි ...
උරහිසෙන් හරවලා බැලුවා
මූණ හොඳටම තෙත්වෙලයි ...
කිමිඳුනා ඒ දෑසටම මම
පීනන්න කදුලැළි තිබෙයි ...
තාත්තව මං මුළින් දැක්කේ
පෝරුවට එන වෙලාවෙයි ...
ඇවිදගන්නට පවා බැරිලෙස
ඔහුගෙ පායුග පැටළුණයි ...
වැටෙන කඳුලැල් හොරෙන් පිහුවා
ඒත් මා එය දුටු නිසයි ...
මගේ හිස ඔහු තදින් ඉඹලා
හොරෙන් කඳුලක් හැංගුවයි ...
මල්ලි හෙව්වා නැහැනෙ දැක්කේ
හිතුවෙ වැඩවල හිරවෙලයි ...
ඈත ඉන්නවා මුව වසාගෙන
මස්සිනා මගෙ ඔහු ළඟයි ...
මූණ අමුතුයි ළඳරු පාටයි
ඒ පෙනුම මට නුපුරුදුයි ...
අඬපු මූණක වෙනස මටනං
තෝරාගන්නට පහසුමයි ...
පෝරුවට නංවන්න ආවේ
පුංචි මාමා අද හැඩයි ...
දෑස් බිමමයි විටින් විට ඔහු
ලේන්සුව මුහුණේ දමයි ...
සීයා හිටියේ පෝරුවම ළඟ
පුංචි පුටුවක ඉඳගෙනයි ...
මූණ පිරිලා හිණාවෙන් මුත්
දෑස් ඔහුගේ වැහි බරයි ...
බාප්පා,මාමලා,මහප්පා
අයියලා,මල්ලිලා ටිකයි ...
විටින් විට ඇස් පියන් සළනවා
ඒකේනම් වේගය වැඩියි ...
මස්සිනා අක්කා ළඟට වී
ඇයව සනසා අස්වසයි ...
ඒත් දුටුවා හැමට රහසින්
දෑස් යුග ඔහු පොඩිකරයි ...
හිතන්නට අද බොහෝ ඉතිරියි
කාරණා එක එක හැඩයි ...
පිරිමි ඉවසන් ඉන්න තරමට
ගැහැණු අපි කොතැනද සැකයි ...
හංගාගන්නට කඳුලේ බර කම
කොහොම හුරු උනිදෝ හිතෙයි ...
" මටත් දැණුනේ අදයි අම්මේ
පිරිමි කඳුළුත් හරි බරයි " .
සජී