Tuesday, May 07, 2024
Follow Us
මහගෙදර
කාගෙහරි හීනයක මේ ගෙදර තියෙන්නැති
කඳුළු දාඩිය මුසුව මැටි බිත්ති බැඳෙන්නැති
සිහින් රතැඟිලි තුඩින් හැඩ වැඩත් වෙන්න ඇති
එකා දෙන්නා වෙලා පවුල ලොකු වෙන්න ඇති
මල් පඳුරුවල සුවඳ මල් පිපිලා තියෙන්නැති
පහන් පැල නොවැරදිම හවස දැල්වෙන්න ඇති
තනි කුප්පි ලාම්පුව ගෙට එළිය දෙන්න ඇති
එකම පැදුරක් එලන් පේලියට නිදන්නැති
ඒ කාලෙ මුළු ගේම හිනාවෙන් පිරෙන්නැති
සතුටු සාමිචි කතා මහ ගොඩක් තියෙන්නැති
සත්සරය මුහුවෙච්ච ගී සිංදු ගැයෙන්නැති
දෝංකාරය අදත් මහ රෑට ඇහෙනවැති
පොඩි එවුන් ගේ වටේ දුව පැනල⁣ නටන්නැති
පිල උඩට රොක්වෙලා පංච උඩ දාන්නැති
කුස නැතත් හැමවිටම හිත් පිරිල තියෙන්නැති
බිත්තිවල ඇඳපු බලි තවම මඟ බලන් ඇති
හැමෝගෙම ඇස් වහල කාලෙ ගතවෙන්න ඇති
උස් මහත් උන ළමයි අත් ඇරලා යන්න ඇති
නිතර ආ ගිය අයත් නෑවිදින් ඉන්න ඇති
මහ දෙන්න අන්තිමට ගෙදර තනිවෙන්න ඇති
ඒ දෙන්න ලඟ ලඟම එක මගක යන්න ඇති
ගමේ අය ටික දෙනෙක් මළ ගෙදර එන්න ඇති
සතුට මිය ගිය නිසා දුක ඉතුරු වෙන්න ඇති
මතකයන් ගේ ඇතුලෙ වලදාලා තවම ඇති
අන්තිමට ගිය කෙනා දොර අගුළු දාන්නැති
අරින්නට කිසි කෙනෙක් ඉන්පසුව නේන්නැති
කරුවලෙන් පාළුවෙන් මුළු ගේම පිරෙන්නැති
අඳුරු මූසල ගෙයක් දකින අය කියන්නැති
කාලයක් ගත වෙද්දි වහලෙ හිල් හැදෙන්නැති
අනෝරා වැහි වලට මුළු ගේම තෙමෙන්නැති
දමා ගිය බඩු මුට්ටු ගේ ඇතුලෙ දිරන්නැති
බිත්ති පුළුවන් තරම් දරාගෙන ඉන්න ඇති
පාරෙ යන එන අයගෙ ගිමන්හල වෙන්න ඇති
එලිපත්තෙ බංකුවේ මහන්සිත් හරින්නැති
ගේ ගරා වැටෙනකොට ලඟටවත් නේන්නැති
ගෙයක් එහි තිබුණු බව අමතකම වෙන්න ඇති
පහු වෙද්දි මල් පඳුරු වඳ වෙලා යන්න ඇති
වල් පැලත් දෙක තුනක් ඒ අස්සෙ හැදෙන්නැති
කවුරුවත් එළි පෙහෙලි කරන්නට නැතුව ඇති
අන්තිමට මුළු ගේම කැලෑවෙන් වැහෙන්නැති