කුරිරු වෙඩි හඬ සමග ඇවිලෙයි
වියරු වැටෙමින් අග්නි ජාලා
උමතු සටනක කිමද මිනිසුනි
එකම බිමකට එරෙහි වීලා ?
දයාවක් නැති මිනිස් හදවත්
දවන්නට නොව , නිවන්නට බැරි
කිමද සාමයේ දෝත පාලා ?
සදාකල් රැකගන්න බැරිනම්
බිමක තනි අයිතිය අරන්
දිනුම පැරදුම කාට ලැබුනත්
කුමකටද වනසා උනුන්
කිරුලු පළඳා සිනාසෙන්නට
ප්රේමයේ මළගම තුලින්
රුදුරු වූවද මිනිස් යහගුණ
මුළා කර හදවත් පවින් ?
ජාතියට , ආගමට නතු වී
මිනිස්කම බෙදුනට ලොවේ
දුක, සතුට, සංවේදනාවන්
දැනීමේ වෙනසක් නොවේ
මහා බර අවි නිපදවාගෙන
උදම් වී පැතුවට සුවේ
නුඹේ හිත නුඹටම නිගාදෙයි
ලබන දා උරුමය පවේ
මේ තරම් යුද වැද දිනන්නට
යමක් වේවිද මතු දිනේ
දිනෙක මිය යන අය මරන්නට
කෙලෙසකද අවි එසවුනේ
දයාවෙන් ඔබ මැවූ බව කී
ලොවද අද නිරයක් උනේ
පිදුම් ලද භූමිය රකිනු මැන
සතුරුකම් බිඳ, දෙවියනේ !
නිමක් නැති දිවි ගමන යන්නට
රුහිරු පවසින් සිත මුදා
ලොවක් රකිනට වෙහෙස වනු මැන
නිදහසේ සැනසුම බෙදා
හදක් හදකට දයාබර වී
සිටී නම් සෙනෙහස පුදා
හෙටක් එළඹෙනු නියතමයි
සෝ තැවුල් සංකා නැති සදා..
- නයනි වෛද්යරත්න -