Sunday, April 20, 2025
Follow Us
සැමියා සහ බිරිඳ
සැමියා
වස, විෂ නොදා
අපෙ කුඹුරෙන් රහට බත් කටක්...
බුලත් පුවක් අපිම වවන්
හැපුවෙ අපි විටක්...
මටත් අනූවයි හක්තිය
වගෙයි හැට දෙකක්...
අම්මප...
අමුතු බැල්ම නම් මැණිකේ
හැටහතරෙ එකක්...
 
බිරිඳ
මැටි වළං, ලිපේ දර,
අල, බතල, කැඳ, පොළොස්...
දරු පැටව් වටේ ගැවසෙයි
මාස මෙන් දොලොස්...
විකුණනා සහල් එළවළු
වෂයි අපිට දොස්...
අම්මප...
තමුන්ව පමණක් රකිනා
නිසයි රටට වස්...
 
සැමියා
මඩ හෝදපු ගොවිය
රජෙක් වුණෙ ඉතිහාසේ ...
හිඟාකන රටක් දැන්
විකිණෙයි හොර රහසේ...
නීතියයි හොරුයි
එළිපිටදිම සහවාසේ...
අම්මප...
හුස්ම දෙන වදේටලු
දුගියගෙ උපවාසේ...
 
බිරිඳ
හාල් පාටකර තුනපහ
රස කරයි විසෙන්...
එළවළු, පළතුරු, කරවල
රකින්නෙත් විසෙන්...
කිතුල් හකුරු හදන්නෙ
ඇයි සීනි ගෝනියෙන්...
අම්මප...
මහරගමට කොයි කවුරුත්
යන්නෙ පෝලිමෙන්...
... ශ්රීමතී වල්පොල...