Monday, May 06, 2024
Follow Us
කූඩුව කඩාගෙන ගිය අම්මාට දූගෙන්
තාත්තගෙ තනපුඩුවෙ එල්ලී
කෙලබොද්දි කිරි වෙනුවට
උබට පිපුණද රාගයේ මල්
පියයුරේ හරි සරුවට
අනික් උන් අම්මට වඳිනකොට
ලෙයක් කිරි කළ ගුණයට
මලක් තියලා වඳින්නම් මං
පිටි කවරෙ එළ හරකට
------------------------------------------------
එකේ ඉඳලා පහේ පන්තිය
වෙනකන්ම මුල් චිත්රෙ පවුලක්
උබේ හිස්තැන තියල චිත්රය
අඳින එක මට තිවුණු අවුලක්
අහනකොට ටීචර් මගෙන් ඇයි
අම්මගේ තැන කුරුටු බලියක්
කඳුළු උත්තර දුන්නු හින්දා
ටීච තඩියට දැම්ම හරියක්..
-------------------------------------------------
ආදරෙන් රැකබලාගන්නට
උයන්පල්ලන් නැති උයන්වල
පිපුණු මල් වල රොන් උරන්නට
මාන බැලුවා විස බඹර දළ
බඹරු කොච්චර වැරදි කෙරුවත්
දෝස ඇහුවේ අහිංසක මල
අයිතිකරුවන් නොමැති වතුවල
මල් පිපෙන්නට හොඳම නෑ බොල..
--------------------------------------------------
ඵල දරන්නට කලින් ඉඳලා
ගහක් මාසික මල් වරද්දී
යටි බඩේ හැම අඟල ගානම
වේදනා පිහිතුඩු ඇනෙද්දී
රුධිර බින්දුද කඳුළු බින්දුද
වැටුනෙ වැඩියෙන් නැතත් නිච්චී
ඉඩෝරය බලපාපු හින්දා
උබේ දුව කටු පතොක් වෙච්චී..
-------------------------------------------------
පුන පුනා මං තාත්තාගෙන්
උබේ ගැන ඇහු දවස් ගෙවුණා
දරදඬුම ඒ පිරිමි ඇස්වල
කොහෙන්දෝ ආ කඳුළු ඉනුණා
අන්න එතනදි මටත් අම්මේ
සසර දරුණුම පවක් පිරුණා
මගෙ නැතත් මට තාත්තගෙ ඇස්
හිනාවෙන්නට දෙන්න තිබුණා..
------------------------------------------------
උබ ගියපු දා ඉඳන් අම්මේ
ජීවිතේ හරි කළුයි
පාට ගාලම තාත්තගෙ අත්
එන්න එන්නම රළුයි
බණේ හැටියට අපායේ අර
කටු ඉඹුලෙ කටු සැරයි
ඒ නැතත් මගෙ දැනුම හැටියට
උබට දෙව්රම දුරයි..
-------------------------------------------------
විශාඛාලා යසෝදරලා
මහාමායා ඇරෙන්න
අම්බපාලිල එපා කිසි දින
අම්ම කෙනෙකුට වැහෙන්න
දරු පෙමක් නැති මුඩු හදක්
රති කෙළි කරනකොට වැරෙන්ම
ශුක්රානු පොදි පිටින් ආයෙම
ආපු අතටම හැරෙන්න..
------------------------------------------------
මාසිකව එන අමාවකවත් බැරිලු සමහරු දරන්න
සදාකාලික හඳක් නැති එක කොහොම වේවිද හිතන්න..
- නිදුකි -