Friday, May 03, 2024
Follow Us
පින නැහැ නුඹට

මානසික රෝගියෙක් බලන්න ආපු තරුණියකට රෝගියා බලාගන්න හෙදිය මෙන්න මෙහෙම කියනවලු...!


ඊයෙ දවසට දෙතුන් පාරක්
බිත්තියේ ඔය ඔලුව ගැහුවා
අල්ලගෙන ඔහු නවතගන්නට
ඇත්තමයි හුඟ වෙහෙස දැරුවා
බැරිම තැන ඒ මූණ අල්ලන්
"මොකද මේ" මම හෙමින් ඇහුවා
එයා කිව්වා,
"අනේ ඔය විදියටම ඉස්සර
එයත් මට ආදරේ කෙරුවා"
දුන්න බත් එක අතට ගන්නෑ
මේසෙ උඩ පත්තරෙන් වැහුවා
වතුරවත් පොව්වන්න උන්නෑ
කලබලෙන් හැමතැනම දිව්වා
අල්ලගෙන මම අතින් ලාවට
"කවන්නම් බත් එන්න" කිව්වා
එයා කිව්වා,
"මට එදත් එයා ඔය විදියටම ආදරෙන් බත් කැව්වා"
අවුල් කරගෙන කොණ්ඩෙ හොඳටම
කපුටු කූඩුව වගෙයි තිබුණේ
පනාවක් ඒ අතට දුන්නත්
උවමනාවක් නෑනෙ පෙනුණේ
පොකුටු කොණ්ඩෙන් තියෙනකොට අත
කඳුළු පිරුණා ඒ ඇස් දෙකට
එයා කිව්වා,
"එයත් ආස පොකුටු කොණ්ඩෙට
ඒකමයි මේ කොණ්ඩෙ වැවුණේ"
ශර්ට් එක ගලවගෙන බොත්තම්
තුනක් විතර දාල තිබුණා
කොලර් එකත් උස්සගෙන
චණ්ඩියෙක් වගෙ මටත් පෙනුණා
ගිහින් බොත්තම් එකින් එක
දානකොට මගෙ දිහා හැරුණා
එයා කිව්වා,
"එයා ඉන්නකොට මම පිලිවෙලට හිටියා.."
නංගියෙ ඔහුගෙ නම අග
වාසගම නුඹෙ නමෙත් තිබුණා
නංගි වෙන්නැති නුඹව දැක්කම
අයියගේ හැඩරුවම තිබුණා
ඒක හින්දම මේ ටික
කියන්නට අද හවස හිතුණා
නංගියේ නුඹෙ අයියා දැක්කම
සත්තමයි මට කඳුළු පිරුණා
මෙහෙම කිව්වට එපා මං ගැන අහිතක් හිතන්න
සුව කරන්නම් මම කොහොමහරි
නංගියේ ටික කලක් දෙන්න
අයියගේ හිත බින්ද ඇය යලි
හමුවුණොත් ඇයට මෙය කියන්න
"පිස්සුවෙන් ආදරේ දුන්නට
නුඹට පින නෑ එය ලබන්න..

-Kavinda Senaka