සුමුදු සුදු මුදු වලා පිසලන
සිහිල් පවනයි ඇදෙන්නේ….
විහඟ ගී සර මිහිර කළතන
අමා සුවයකි ගෙනෙන්නේ….!
රිදී පොටකට රැඳුන හිරු රැස්
වළලු මිහිතල සිඹින්නේ….
උදාගිර හිරු මඩල විනිවිද
සොබා අසිරිය මැවෙන්නේ….!
විදා අත්තටු කුරුළු වෙස් ගෙන
සොයා මතකය දිවෙන්නේ…. !
ගලා හැලෙනා දියපහර නැගි
පෙණ පිඩුව සේ බිඳෙන්නේ ….!
සසර ගණුදෙනු නිමාවන තුරු
කඳුලු බිඳු පිසලමින්නේ…!
හිතක් මෙතරම් පහන් වන වග
දැනී දැනී හිත නිවෙන්නේ….!
පැතූ පෙම්ලොව සුනු විසුනු විය
රිදුනු හදවත හඬන්නේ …!
එදා පිදු සෙනෙහසම වියරුව මෙදා හිත පාරවන්නේ…!
දෙපා මුල වැඳ වැටී ඉකිලන සමාවයි හද යදින්නේ….!
විඩාපත් ගත තැවී හිත ලඟ
සදා සුවයකි ලබන්නේ …!
-ලලනී ගීකියනගේ