පාන්දර ඉරටත් කලින්,
වෙනදා වගේ නොව ඇහැරිලා
විසි හතනෙ අද අලුත් පාසැලෙ ඇරඹුමට දැන් ලං වෙලා
සුදු කමිසෙ කලිසම ඇදන් අඩ අදුරේම පාරට වෙලා
හත වෙද්දි වගේ පාසැලේ අභිමුවට හනිකට මම ගියා
පළමු දින උන් සියල්ලෝ නන්නාදුනන බව පසෙකලා
අලුත් මිතුදම් වෙත පිරුවෙ මුල ඔවුනොවුන් ගැන පවසලා
ඒ අතර සිටි චූටි කෙල්ලගෙ වදන් හිත තුල ගැබ් වෙලා
මමත් දන්නෑ ඒ කෙල්ල මගෙ හිත එදා හොරකම් කලා
ටිකෙන් ටික ඇගෙ හොදම යාලුවො අතරෙ විය මම එක්කෙනෙක්
දිනෙන් දින වැඩි උනා මිස අඩු උනේ නම් නැත මිතුරුකම්
විටින් විට වැඩි වන කතාබහ දැක ගෙතූ පද සුමිතුරන්
හිතින් යට මම තියන් තනියම වෙනම ලෝකෙක සිරවුනෙම්
පූස් පැටවුන් චූටි කෙල්ලගෙ නිතරෝම විය සුරතලුන්
බන්ටි බූලා කිව්ව විට උන් හත් දෙනෙක් එයි ඇය වටෙන්
පොඩි උනත් මොකො කට තරම් ඇගෙ සද්දෙ නෑ ලොකු බෝම්බත්
මේ හැමදෙයක් බලාගෙන මම පෙම් කලා ඈ හට සිතින්
ගෙවුනෙ තෙමසයි ඉන්න බැරි තැන මාත් අන්තිම තත්පරේ
කිව්වා මූණට සසල සිතකින් ඔයාටයි මම ආදරේ
උනේ මොනවද මතක නෑ මට දුටුව විට ඇගෙ උත්තරේ
ගෙව්ව හැටි රැය දන්නෙ අදටත් කොට්ටෙ විතරයි කාමරේ
අදත් බය හිත, ඇතුල් වෙනකොට එදා ගිය ඒ පාසැලේ
චූටි කෙල්ලත් කොහේ හෝ ඇති පංතියේ කෙලවර වගේ
දකින කොට ඇය මොනවදෝ සිත කියනවා වගෙ මට දැනේ
අහිමි දේටම සිතත් ඇබ්බැහි උනේ ඇයිදැයි නොම හැගේ
-ඇල්ෆා-