අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ
එකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ
එදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ
මඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ
අපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ
ඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ
දෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ
එදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ
අඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා
විදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා
මගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා
මතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා
@Kalani Ruwanpathirana