විදුහල්පති ගෙ.
මගුලක් කියනවද...පිනා...අනාදිමත් කාලෙක ඉදන් හැම එකාගෙන්ම බැනුම් අහන පිනාට මොන අයිතියක්ද...
එහෙමනම් ගුරුවරු
පිස්සු ....එයාලට වාඩිවෙන්න පුටුවක්වත් නෑනෙ
එහෙමනම් ....දරුවන්ගෙ..????
ඇත්තටම දරුවන්ට නම්,
අයිතිකාරය ගුටිකාගෙන දඩුවම් විදගෙන සේවය ලබාගන්න අරුම පුදුම තැනක්ද මේ පාසල.....
උදේ වැඩ ගොඩයි....
ටීචර් කෙනෙක් ආව,
""මේක හදන්න බෑ, කිසිම විනයක් නෑ මේකට. ලමයින්ට කරදර කරනවා මැඩම් ......එකී මෙකී නොකී දහසක් වචන ගිලගත්ත ගුරුවරය , ළමය මගෙ office එකට දාල යන්න ගියා.
විනයක් නැ, ළමයගෙ....හ්ම්ම්...
ගුරුවරය එහෙම කිව්වෙ හුගාක් ආවෙගයෙන්.
විනය කියන්නෙ ආවේග , සිතුවිලි පාලනය කිරීම.
කමන්නෑ කියමුකො....
ඒ මම හිතන විනය නෙ.
"පුතේ මොකක්ද උනේ දැං...
(කව්ද තමන්ගෙ වැරැද්ද දකින්නෙ, කියන්නෙ ....)
"මම නිකං ඉන්නකොට.......(මම පුංච් කාලෙ වගේම මේ දරුවටත් හැමදේම වෙලා තියෙන්නෙ නිකං ඉන්නකොටමයි......)කතාව ආරම්භ වෙලා නඩුව දිගහැරෙන්න ගත්ත, පැමිණිලිකරුට කොච්චර තරහ ගිහිංද කියනවනම්
පැමිණිල්ලත්, විත්තිකාරයත් තෝම තියා ගනිං කියල යන්න ගිහිං.....
"හරි පුතේ හැමදාම ඔයාම මේ වැරදිවලට අහුවෙන්නෙ ඔයාගෙත් මොකක් හරි වැරැද්දක් ඇති. අර මිදුලෙ බංකුවටවෙලා වාඩිවෙලා ඔයාගෙ වැරදි මොනව ද කියල හිතන්න. එකක් හරි අදුන ගත්තොත් කියන්න කො කියල ...."
මම හැමෝගෙම ආවේග නිවෙනතුරු මගෙ වැඩකරන්න පටන් ගත්ත....
ඊළග කාලච්ඡේදය ...
"මැඩම් , මම පංතියට යන්නද..."
මතක් උනෙත් නෑ...දරුව දකිද්දි තමා මතක් උනේ...
"පුතේ , මොනව ද ඔයාට දැනුන ඔයාගෙ වැරදි....හැමදාම බැනුම් අහන්න."
හීනි සිරුරෙ මළානික මුහුණ බිමට බර උනා..
"වැරැද්දක් නැද්ද පුතේ...."
"තියනවා ...."
ඇල්මැරුණු නඩු විභාගය ගැස්සුනා....තමන්ගෙ වැරැද්දක් තමන්ම දකින පොඩි එකෙක්.....
වාඩිවෙන්න "පුතේ...කියන්න" මගෙ ස්වරය වෙනස් උනා "අපිට අපෙ වැරදි පේනවනම් හරිම ලේසිය හදාගන්න "ඔයා හොද දරුවෙක්, ඒකනෙ එහෙම ඔයාට වැරදි පේන්නෙ. "
"මම රස්තියාදු ගහනවා මැඩම් "
කොට නිල් කලිසමට යටවුන බොර පාට සුදු කමිසයෙ අදුරු පාට, ඒ ලස්සන මූණට එළියක් දුන්නෙම නෑ.....
"ඇයි ඔයා රස්තියාදු ගහන්නෙ "
"නිකං"
"ඔයා යන්නෙ කොහෙද ?"
"තැනක් නෑ, ඔහේ හවසට යනවා"
හරි අපි මෙහෙම කරමු පුතේ...මම කතාව ආරම්භ කරන්න ඉස්සර අහන පළවෙනි ප්‍රශ්නය.
"උදේට කෑවද පුතේ?"
නිරුත්තර වූ ඇස් රස්තියාදුවෙ ගියා.....
දෙවන ප්‍රශ්නය.
පුතේ තාත්තා මොකද කරන්නෙ ....
"දාල ගිහිං "
අම්මා?
"දාල ගිහිං "
......විනයක් නැති දරුවෙක් පංති කාමරයක තනිකරල දාල ගිහිං ...
"රස්තියාදුවෙ යන, කදුලු බිංදුවක්වත් නොමැතිව වියලුණු ඒ ඇස් ..........
මට කිව්වෙ එකම එක දෙයයි"....
" විනයක් නැති දරුවෙක් "