----------------------------------------------------
මූසිලම වැසි කඩු කිනිසි වගෙ පොළව පලු පලු කැපුවා..
රටකජුත් මට අරන් එනකන් තාත්තව මඟ බැලුවා..
කාලකන්නිම වචන ටික මගෙ ජීවිතේ මං ඇහුවා..
තාත්තාව මඟ මැරී වැටිලැයි ගමේ කොල්ලෙක් කිවුවා..
------------------------------------------------------
වැස්ස මැද්දෙම ගමේ ඔක්කොම මිනිය ගාවට ඇදුණා..
වම් අතේ ගුළි කරන් රටකජු ගොට්ට විතරක් තිබුණා..
ටවුන් යනකොට දීපු ලිස්ට් එකෙ පොත් ටිකත් ළඟ පෙනුණා..
උඩ සාක්කුවෙ බෙහෙත් තුණ්ඩුව වැස්සෙ හොඳටම පෙගුණා..
------------------------------------------------------
කහට පාටයි උඹ මැරෙන්නත් කලින් මැරුනේ නියකණු..
රෝස පාටට මගේ නියපොතු විලිවසාගෙන ඇඹරුණු..
බදාගත්තේ උඹේ මළකඳ තැනදි කඳුළුත් හිරවුණු..
පුදුමයක් නෑ තවම රස්නෙයි උඹේ පපුකඳ නොමැරුණු..
----------------------------------------------------
මළගෙදර දා ගමේ පන්සලෙ හත්නමක් විය වඩින්න..
පටාචාරා කතා වස්තුව දෙසුව මගෙ හිත හැදෙන්න..
හැර ගියා ඈ කළේ ආදරෙ නෑ තාත්තට පැලෙන්න..
පටාචාරට ඉතින් ඇහැකිද මාත් එක්කල හැරෙන්න..
-------------------------------------------------------
එදා මගේ එක කඳුළත් උඹට මහමෙරක් වෙද්දී..
මගේ කඳුළු පාවඩ උඩ අද යන්නට සැරසෙච්චී..
ගමේ එවුන් හයක් ඇවිත් උඹෙ මිනියට කරදෙද්දී..
පුතෙක් නොවුණු පාපෙට මට සමාවෙයන් අප්පච්චී..
--------------------------------------------------------
තව මොහොතින් මගෙ ලෝකය පස් අස්සේ වැළලෙනවා..
තාත්තෙ උඹෙ ලේ වල සැර ඇට මත්තේ කැලතෙනවා..
පිය සෙනෙහස දෝර ගැලූ ඒ මුව මට සිහිවෙනවා..
පෙට්ටිය ඇරපන් පාරක් ඇරපු එකෙක් බුදු වෙනවා..
---------------------------------------------------------
දිවි දුන් එකී කිරි හංගන් හැරයද්දී..
උඹෙ තනපුඩුවෙ කෙලබිව්වා සිහිවෙච්චී..
හීනෙන් වරෙන් හැම රෑකම නිදියද්දී..
සත්තයි දෝණි බය වෙන් නෑ අප්පච්චී..
✍️ නිදුකි?