දිවිමග පිපී හිනැහුනු මල් මිලින වෙලා....
පියකරු මුදු සිනා නැත අද නිහඬ වෙලා....
අන්දා හැඩ බැලූ පිළි කිරි සුවද සලා....
නුඹවම සොයයි මගෙ පුතු අද මහන වෙලා....
මගෙ තුන් හිතම ගිනි දැල්වී ඇවිලෙන්නේ....
දුප්පත් කම නිසයි නුඹ සසුනට දුන්නේ....
පුතුනේ කෙලෙසින්ද මේ දුක උහුලන්නේ....
තනිකම දැනී මගෙ මුලු ගත පිච්චෙන්නේ....
පියතුම නොමැත නුඹ පොඩිදා එලොව ගියා....
දින දින ගෙවී නැති බැරිකම් ඉහළ ගියා....
අගහිඟකමින් ජීවිතයම වැසීගියා....
මගෙ සුදු පුතා මම සසුනට පූජා කලා....
බෝ මලුවේ නිතර සක්මන් කරන විට....
මා පෙව් කිරි සුවද හිමියනි දැනෙනවද....
තනිවම පොඩි අතින් දන් වළදනා විට....
ගුලිකර කැවූ බත්වල රස දැ
දැනෙනවද....
පැල්පත එළිය කල දිදුළන පන්සිලුව....
පිංබිම නිවස කරගෙන ඇත නිරතුරුව....
පාසල් බිමෙන් හිමි වූ ශිල්පයෙ හුරුව....
හිමියනි රකිනු මැන ධර්මය යුහුසුළුව....
සුන්දර ගතට ඇදි රෙදිපිළි තනිවීලා....
කහවත දරා පින්බර ගත සරසාලා....
දුවපැන ඇවිද ගිය මාවත නිහඬ වෙලා....
ඈතට ඇදෙයි මාහිමි සංසුන් වීලා....
තුරුලෙහි හොවා නළවා නිදි කෙරූ එදා....
තරු නෙත් වසා සුරලොව සැරිසැරූ එදා....
තනි යහනාවෙ සැතපී නිදිවරන මෙදා....
අම්මා කියූ නැළවිලි සිහිවේද මෙදා....
බුදු හිමි දෙසූ සුමියුරු බණ දෙසන විට....
බෝ මලුවේ සිසිල් බිම අමදිනා විට....
සංසුන් වතින් මග සක්මන් කරන විට....
දුවගෙන ඇවිත් වදිනෙමි දෑ මුදුන් කොට....
පිංවත් පුතෙක් සසුනට පූජා කෙරුවා....
දහසක් පවු නසා නිවනෙහි මග සෙව්වා....
බුදු හිමි දෙසූ බණ පුතු මුවගින් ඇසුවා....
දුකකට නොවෙයි සතුටට කදුලැලි පිරුවා....
බුදු සමිදුනේ අපි මේ ලොව තනි කරදා....
හිමි සදු ගිහින් එන්නේ නැත යලි කිසිදා....
අසරණ මගේ පුතු හිමි කහවත දැරුදා....
සතුටට කදුලු ඉනුවෙමි යහපත දුටුදා....
පබැදුම-:කේ.කේ.සුනේත්‍රා මානෙල්
2021.02.27