Friday, September 25, 2026
Follow Us
‘සුරක්ෂා’ කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දෙවැන්න කෑගල්ලට
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ “ආරක්ෂිත සමාජයක් – සුපෝෂිත ජාතියක්” පරිච්ඡේදයේ සඳහන් පරිදි, “සුරක්ෂා” ළමා දිවාසුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් “සුරක්ෂා” කුසලතා සංවර්ධන හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන 25ක් දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, 2026 වර්ෂය තුළ මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
 
ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර ඇති අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 447ක මුදල ද සමඟ මෙම වැඩසටහන සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 697කි.
 
මෙම වැඩසටහන මගින් ආබාධ සහිත දරුවන් සිටින පවුල්වල දෙමාපියන්ට හා භාරකරුවන්ට සැනසිලිදායක පරිසරයක් ගොඩනැගීම මෙන්ම, ඔවුන්ට තම රැකීරක්ෂා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ද අපේක්ෂා කෙරේ.
 
ඒ තුළින් එම පවුල් සවිබල ගැන්වීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.
 
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු “සුරක්ෂා” කුසලතා සංවර්ධන හා දිවාසුරැකුම් මධ්‍යස්ථානය අධි තාක්ෂණික මෙවලම්, නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විතව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නඩූඋත්තු ග්‍රාම නිලධාරී වසමේ දී විවෘත කරන ලදී.
 
එහි දෙවැනි මධ්‍යස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝලංගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී 2026 සැප්තැම්බර් 29 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.