Saturday, April 20, 2024
Follow Us
මදක් සිතා බලන්න.....

?ඇඟ වැහෙන්න සංවරව ඇඳුමක් අඳින්න එපෑ..
?ඔහොම ඇඳන් ගියාම පිරිමින්ට වුනත් ඉවසුමක් තියෙයිද ඉතිං...??
?ගෑණියෙක් වුනාම දැනගන්න ඕන තමන්ගෙ චරිතෙ තියාගෙන ජීවත් වෙන්න.. ඇඳුමක් අඳින්න ඕනත් අන්න ඒ ගැන හිතල.....


*****************************
මේ කතා බොහෝ වෙලාවට සමාජයේ අපි අහන දේවල්. වැඩේ කියන්නෙ මේ අදහස් හුඟක් වෙලාවට කියවෙන්නෙත් ගැහැණුන්ගෙන්මයි. ඇයි මෙහෙම වෙන්නෙ...? ඒ අය ලස්සනට අඳින්න අකමැතිද..? නැත්තන් ඇත්තටම චරිතය ගැන හිතනවද...?
ඔතනින් කෝක වුනත් අපි සාමාන්‍යෙන් දකින නිරීක්ෂණ කීපයක් තියෙනවා.
01.ටිකක් කොටට ඇඟේ ලස්සන කැපිල පේන්න ඇඳුමක් අඳින්න ආසයි. හැබැයි එහෙම ඇඳුමක් අඳින්න පුළුවන් විදිහට ඇඟේ හැඩය maintain කරගෙන නැහැ. ඉතිං කැමති වුනත්, එහෙම අඳින්න බැහැ. එතකොට හිතේ ඇතිවෙන්නෙ පොඩි ඉරිසියාවක්.
02. ඇත්තටම අඳින්න නම් ආසයි. ඒත් සමජයෙන්, වටපිටාවෙන් කියවෙන කතා වලට බයයි. ඕක තමා බහුතරයකට තියෙන අනික් හේතුව. කතා අහගන්න බය වීම. confidence නැති වීම. තමන් ජීවත් වෙන්න ඕන තමන්ට හරියි කියල හිතෙන විදිහටයි කියන දැඩි ආත්ම විශ්වාසය ඇති කරගත්තොත් විතරමයි ඔතනින් ගැලවෙන්න ලැබෙන්නෙ.
03. සැමියාට, දරුවන්ට ලැජ්ජාවක් වෙයි කියල හිතල කැමති විලාසිතා නොකර සිටීම. ඒක තනි පුද්ගලයෙක් විදිහට බාරගන්න පුලුවන් අභියෝගයක් නොවෙන්න පුළුවන්. ඒත් මේ ආකල්ප සමාජය ඉස්සරහට යනවත් එක්කම වෙනස් වෙන්නම ඕනෙ. ඒකට සාමූහික වෑයමක් ඕනෙ තමයි. නමුත් ඒ සාමූහිකය හැදෙන්නෙම තනි පුද්ගල මැදිහත්වීම් වලින්.
04. අසංවර, සංකර ජීවිතයකට වඩා හික්මුණු සංවර ජීවිතයකට කැමති වීම. කොතනද ඔය ඉර තියෙන්නෙ...? කවුද ඒ ඉර ඇන්දෙ...? මොකක්ද නිර්ණායකය...? මේ කිසිවක් නිශ්චිත නෑ. සමහර විට ඔබ කරන ඉතා සුළු දේකින් පවා ඔබ පවත්වාගෙන ආ සියළු සංවර සදාචාරවත් චරිත සොබාව විසිරී බිඳී යන්න පුළුවන්. එහෙම සමාජයක් ඇතුළෙ ජීවත් වන අපි, ඒ ක්‍රමයම නඩත්තු කරමින් ඉදිරියට නොගිහින්, ඊට වඩා නිදහස් ස්වාධීන සහ නූතන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු නැද්ද...?
05. පිරිමින්ට හැඟීම් ඇතිකරවන්න දායක වෙන්න අවශ්‍ය නෑ කියන හැඟීම. පිරිමින්ට හැඟීම් ඇතිවෙන එකේ වගකීම ගැහැණියම බාරගන්නෙ ඇයි..?පිරිමියා කියන්නෙ වගකිවයුතු ජීවී කොටසක් නේද....? එහෙම නම් තමන්ගෙ හැඟීම් ඇතිවීම, ඒව ක්‍රියාත්මක වීම, එහි වරද හෝ නිවැරදි බව කියන සියල්ලේ වගකීම දරන්නත් පිරිමියාට හැකියාව තිබිය යුතුයි නේද..? ඇයි ඒ පිරිමියා සතු පුද්ගලික වගකීමත් ගැහැණියම බාරගන්න උත්සාහ කරන්නෙ...? එකම එක උත්තරයක් තියනවා. "තමන්ටත්, තමන්ගෙ සිතිවිලි වලටත්, පොදු සමාජයටත් වගකියන" පුතෙක් හදන්න. ගැහැණියට ඔය කාරණය වෙනුවෙන් කළ හැකි හොඳම මැදිහත් වීම එපමණයි.
එතනින් එහාට ගෑණුන්ගෙ රෙද්දෙ දිග පළල කාටවත්ම ප්‍රශ්නයක් නොවේවි.
- මදක් සිතා බලන්න -

Nisanka