Thursday, July 03, 2025
Follow Us
ජුනි 01 වෙනිදා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නැහැ

ජුනි 01 වෙනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවට පලවන වාර්තාවන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

අද දින ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් පළකර ඇති ප්‍රවෘත්තියකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළ බවයි.

පාසැල් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව එම තීරණය ක්‍රියාවට නැංවූ පරිද්දෙන්ම, පාසැල් නැවත විවෘත කිරීමේ තීරණය ද ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මේ අතර නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පලාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කර සිටියා.

(Neth)