Saturday, May 04, 2024
Follow Us
අවදානම තිබියදී රාජ්‍ය ආයතන විවෘත කිරීමේ සූදානමක !

ලබන 27 වැනිදා වනවිට ඇඳිරි නීතිය ඉවත් කර,. රාජ්‍ය ආයතන සීමිත රාජ්‍ය සේවකයන් ප්‍රමාණයකට හෝ විවෘත කර නැවත ජනජීවිතය සමාන්‍ය මට්ටමට පත් කිරීමට රජය තවමත් සූදානම් වෙනවා. ඒ අනුව රාජ්‍ය පාරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් රාජ්‍ය ආයතන විවෘත කිරීම සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

රජයේ කාර්යාලය විවෘත කිරීමට පෙර එම ස්ථාන විෂබීජහරණය කළයුතු බවත්, රජයේ සේවකයන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සඳහා අවශ්‍ය උපරිම පහසුකම් සැළසිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

සෑම රාජ්‍ය ආයතනයක් සඳහා උෂ්ණත්වමාන මිලදී ගැනීමට උපදෙස් ලබා දී ඇති අතර ඒ හරහා සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරන්තර විමසිලිමත් වියයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

මීට අමතරව රාජ්‍ය ආයතනවල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා බාහිර පෞද්ගලික ආයතනවල සේවකයන් යොදවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඒ සඳහා ඒ ඒ රාජ්‍ය ආයතනයේ සේවකයන් යොදවා ගැනීමට නියමිතය. පෞද්ගලික ආයතනවල සේවකයන් යෙදවීම අනවශ්‍ය අවදානමක් වියහැකි බවටයි හඳුනාගෙන තිබෙන්නේ.

පසුගිය සතියේදීද රාජ්‍ය ආයතන විවෘත කිරීම සඳහා රජය බලාපොරොත්තුවෙන් සිටියද බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කිරීමට නොහැකි විය. ඒ කොවිඩ් වෛරසයේ අවදානම එකවර ඉහළ ගිය හෙයිනි. එවැනිම තත්වය නැවතත් මතුව තිබෙන අතර ඊයේ දිනයේදී, මෙරටින් එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා විය. එම ගණන ආසාදිතයන් 38 කි.

ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් ආසාදිතයන් ඉහළ ගියහොත් බස්නාහිර ඇතුළු අධි අවදානම් කලාප ඇතුළු ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

(LNW)