Saturday, July 05, 2025
Follow Us
සා/පෙළ ප්‍රතිඵල ලබන සතියේ

ලබන සතියේ නිකුත් කෙරෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට (download) සියලු විදුහල්පතිවරුන්ට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ (19 වැනිදා) ‘අරුණ’ට පැවසීය.

එමෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද තමන්ගේ කලාපයට අයත් සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන බාගත කළ හැකි යැයි ද හෙතෙම පැවැසීය.

විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනම එම ප්‍රතිඵල ලේඛන මෙතෙක් ලබා ගැනීමට හැකි වූයේ කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වලට පමණි.

එම පාසල්වල විදුහල්පතිවරුන්ට දෙපාර්තමේන්තුවට පැමිණ එම ලේඛන ලබා ගත හැකි වූ අතර සෙසු සියලුම පාසල්වලට එම ලේඛන යවනු ලැබුවේ තැපෑලෙනි.

තැපැල් බෙදා හැරීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය මත වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලේඛන බා ගැනීමේ පහසුකම් සැලසූ බව ද තැපැල් දෙපාර්මේන්තුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම ප්‍රතිඵල ලේඛන තැපැල් මගින් යවන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

ඉකුත් දෙසැම්බර් මස පැවති සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බවත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල ඒ වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.


(Aruna)