Friday, July 04, 2025
Follow Us
විදේශ රටවල සිරවී සිටින සිසුන් ගෙන්වා ගන්නවා - විදේශ කටයුතු ඇමති කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශ රටවල කොටුවී සිටින ශී‍්‍ර ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ආණ්ඩුව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ වෛරසය පාලනය කිරීමට හැකි වූ වහාම ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා බවයි.

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල අතරමංව සිටින ශ‍්‍රී ලාංකිකයින් 59,000කට අධික පිරිසක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා. ඒ අතරින් 21,575 දෙනෙකු මැද පෙරදිග රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින්.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති ආයතන සහ දැනට විවෘතව පවතින ආයතන පිළිබද කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට උපදෙස් ලබාදී තිබෙනවා. අමාත්‍යවරයා සදහන් කළේ රට තුළ දැනට ලියාපදිංචි වී ඇති සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ ආයතන පිළිබද මෙහිදී තොරතුරු රැස් කරන බවයි.

(Neth)