Friday, July 04, 2025
Follow Us
සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු අද සිට ඇරඹේ

සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි මූලික කටයුතු ආරම්භ කෙරෙන බවයි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ කොවිඞ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ සාමාජික ආචාර්ය පි‍්‍රයාද් බන්දු වික‍්‍රම සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී එළඹුනු තීරණ සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා. එහිදී පෙන්වා දුන්නේ දිනකට කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පවරා ඇති බවයි.

රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. හැඳුනුම්පතේ අංකය අනුව එම කටයුතු සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි පෙන්වා දුන්නේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ග රජය විසින් මෙම සති අන්තයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, රට තුළ පවතින වත්මන් තත්ත්වයද සැලකිල්ලට ගනිමින්.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බවයි.

(Neth)