Saturday, April 27, 2024
Follow Us
නොහැක්කක් නොමැත. කොරෝනා නිරෝධායනයේදී හමුදාවේ සාර්ථකත්වය සීයට සීයයි ! - හමුදාපති

කොරෝනා නිරෝධායන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ලැබූ සාර්ථකත්වය සීයට සීයක් බවත් තමන් භාරයට ගැණුනු කිසිදු පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය සම්ප්‍රේෂණය වීමට ඉඩ නොතබා 3500ක් දෙනා රැකබලා ගැනීමට තමන්ට හැකිවූ බවත් හමුදාපති, ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"නොහැක්කක් නොමැත යන්න ඔප්පු කරමින් - අප මේ හමුදා ජීවිතේ ප්‍රථම වතාවට ඉගෙන ගන්න කාරණයක් වුණත් නිරෝධායනය - අපට ලබාදුන්න කිසිම පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය බෝ නොකරගෙන ඔවුන් 3500ක් රැක බලාගැනීමට යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට ලැබුණා. අපගේ සාර්ථකත්වය සීයට සීයයි !

ඒක විශිෂ්ඨ ක්‍රියාවලියක් ලෝකයේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කර බැලීමේදී. ප්‍රබල රටවල් මේ නිරෝධායනය හෝ කොවිඩ් වසංගතයට මුහුණ දීමට හැකියාවක් නොමැතිව යම්කිසි බරපතළ තත්වයන්ට මුහුණ දීලා තියෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ලබාදෙන උපදෙස්වලට අනුව ක්‍රියා කළහොත් රටේ ආරක්ෂකයා වන අපට කිසිදු පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනය නොවී වගබලා ගැනීමට හැකියාවක් තිබෙනවා.

අපි රටක් හැටියට එකට නැඟිටින්න ඕනෙ. අපට ආපු අභියෝගත් එක්ක කොවිඩ් කියන්නෙ මහ දෙයක් නෙවෙයි. අපි මේ ඉන්නෙ පස්වෙනි සතියේ තුන්වෙනි දවසේ. හතරවෙනි සතිය නිමවන විට අපි දැකලා තියෙනවා ඒ ඒ රටවල්වල මේ ආසාදනය ව්‍යාප්තවෙන ක්‍රමවේදයන්. ඒ එක්ක බැලුවාම ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ස්ථානයක තිබෙන බව අපි ඉතාමත්ම නිහතමානීව කිව යුතුවම තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කිලිනොච්චි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අදහස් දක්වමිනි.

(LNW)