Saturday, April 27, 2024
Follow Us
සහනාධාර ගැන ගැටලු ප‍්‍රදේශීය ලේකම්ට කියන්න

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා පැතිරයාම වලක්වාලීමට ගනු ලැබ තිබෙන ඇතැම් පියවර නිසා පීඩාවට පත් අඩු ආදායම්ලාභීන්ට රජය ලබා දෙන සහනාධාරය විධිමත්ව බෙදී නොයෙන බවට චෝදනා නැගෙනවා.

හැටන්හි පදිංචිකරුවන් පිරිසක් පැවසුවේ වතුකරයේ ප‍්‍රබල වෘත්තීය සමිතියක සමාජිකයන්ට පමණක් මෙම සහනාධාරය ලැබෙන බවයි.

සහනාධාර බෙදීම සිදුවන්නේ ග‍්‍රාම නිලධාරීවරුන්ගේ හෝ සමෘද්ධි නිලධාරීන්ගේ පෞද්ගලික හිතවත්කම් අනුව බවට තවත් අයෙකු චෝදනා කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් රජයෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ සහනාධාර බෙදා දීම සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඒවා අදාල ප‍්‍රදේශීය ලේකම්වරුන් වෙත ඉදිරිපත් කළ හැකි බවයි.

ඒ අනුව වරදක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.

සමෘද්ධිලාභින් සඳහා ලබා දෙන රුපියල් 5,000 ක ආපසු අය නොකරන සමාජ ප‍්‍රතිලාභය බෙදා දීම සම්බන්ධයෙන්ද ඇතැම් ප‍්‍රදේශවලින් පැමිණිලි ඉදිරිපත්වනවා. නෙත් නිවුස් වෙත කතාකල අනුරාධපුර ඇලැහැර ප‍්‍රදේශයේ වැසියෙකු පැවසුවේ තමන් කලින් ලබාගත් ණය පියවා නොමැති බව පවසමින් තමන්ට හිමි මෙම ප‍්‍රතිලාභයද අහිමි කෙරුණු බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසිමක් කලා. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි පැවසුවේ බොල් ණය වැනි අවහිරතාද නොසලකමින් සියලූ සමෘද්ධි ලාභින්ට මෙම ප‍්‍රතිලාභය ලබා දීමට දැන් තීරණය කර ඇති බවයි.

සමෘද්ධිලාභීන් සඳහා වන රුපියල් 5,000සේ සමාජ ප‍්‍රතිලාභය ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටින මුලූ පවුල් සංඛ්‍යාව විසි පන්ලක්ෂ 73,646ක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.