Monday, September 15, 2025
Follow Us
ලාබ ටෙස්ට් ගැන එක එක්කෙනා කිව්වට බෑ, MRI නිර්දේශය ඕනෑ - සෞඛ්‍ය අධ්‍යක්ෂගෙන් GMOAට පිළිතුරු

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අඩු වියදම් විවිධ පරීක්ෂණ පිළිබඳ විවිධ යෝජනා තමන්ට ලැබී ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගණනාවක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වනවිටත් පරීක්ෂා කරමින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

"ලාබ පරීක්ෂණ කියන්නෙ විවිධ යෝජනා මේ මොහොතේ එනවා විවිධ පරීක්ෂණ පිළිබඳව. අපි මෙහිදී සැලකිය යුතුයි මේ කොවිඩ් - 19 පිළිබඳව චීනය, කොරියාව වගේ රටවල් මොන පරීක්ෂණ මොන අවස්ථාවෙ භාවිතා කළාද කියන එක පිළිබඳව. මේ රටවල් වසංගත පාලනය සඳහා යොදාගෙන තියෙන්නෙ PCR පරීක්ෂණය.

ඒවගේම යම්කිසි විදියට වෙනත් අරමුණු, ඒ ප්‍රතිශක්තිය පිළිබඳ තත්වය මැන බැලීමට, මේ සමාජයේ ප්‍රතිදේහ තත්වය මැන බැලීමට පසුකාලීනව ප්‍රධාන වශයෙන් භාවිතා කරලා තියෙනව ඇන්ටිබොඩි ටෙස්ට් කියන පරීක්ෂණය.

එවැනි පරීක්ෂණ වර්ග කිහිපයක් අප වෙත ලැබිලා තියෙනවා. මේ දක්වා ලැබුණේ ඇත්ත වශයෙන්ම එහි අත් පත්‍රිකා, බ්‍රෝචර් කියන දේවල්. නමුත් දැන් අපට ටෙස්ට් කිට් ලැබෙමින් පවතිනවා. ඒ ලැබෙන සියල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය අපේ IDH ආයතනය සමඟ එක්වෙලා මෙම පරීක්ෂණවල කොපමණ සෙන්සිටි එකක් ඇත්ද කියලා දැන් පවත්වාගෙන යනවා පරීක්ෂණ. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිඵල අනුව එවැනි පරීක්ෂණ එකක් හෝ දෙකක් යොදාගන්න සමහරවිට අපට පුළුවන් වෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අඩු වියදමෙන් ඉක්මනින් කළ හැකි රැපිඩ් ටෙස්ට් පරීක්ෂණය වහාම ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දින කිහිපය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන්ට යෝජනා කර තිබිණි.

(LNW)