Thursday, July 03, 2025
Follow Us
කපාගත් බැංකු ණය ගැන අවශ්‍ය පියවර ගන්නවා – මහ බැංකු අධිපති කියයි

රජය බැංකු ණය වාරික ගෙවීම සඳහා මාස තුනක සහනයක් ලබා දුන්නත් රාජ්‍ය බැංකු මගින් තවමත් එම ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගැනීම ගැන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ඊයේ (27 දා) කියා සිටියේය.

රාජ්‍ය බැංකු මගින් තවමත් (ඊයේ දිනයේත්) තම ණය වාරික ගිනුමින් කපා ගන්නා බවට බොහෝ දෙනෙක් පවසන අතර මේ ගැටලූව ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් කළ විමසුමට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ඇතැම් පුද්ගලික බැංකු ද මහ බැංකු උපදෙස්වලට පටහැණිව තවමත් ණය වාරික ගිණුම් හිමියන්ගෙන් කපා ගනිමින් සිටී.

මහජන බැංකුව මගින් කපාගත් ණය වාරික මුදල් නැවත එම ගිණුම්වලට දැමීමට තීරණය කළ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා දැනටමත් මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇත.

රජය එම ණය වාරික අය නොකරන ලෙස බැංකුවලට චක‍්‍රලේඛයක් මගින් ඉකුත් 24 දින සවස උපදෙස් දුන්නේය.

රජයේ බැංකුවලින් කපා ගත් ණය වාරික නැවත රිවස් කරන බව (එනම් නැවත එම ගිණුමට දමන බව) ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේය.

එහෙත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ඇමැතිවරයකු කීවේ මේ සහනය ලැබෙන්නේ අපේ‍්‍රල් මස සිට බවය.

(Lanka Leads)