Tuesday, July 01, 2025
Follow Us
නාමයෝජනා පෙරහර 17-18 සහ 19

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ලබන 17,18 සහ 19 යන දිනයන්හීදී නාමයෝජනා භාරදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම දේශපාලන පක්ෂවල නියෝජිතයෝ පවසති.

ජාතික ජන බලවේගය යටතේ මාලිමාව ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුණෙහි නාමයෝජනා මේ වනවිටත් සකසා ඇති අතර ඒ සඳහා උගතුන්, වියතුන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු ඇතුළත් කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දේශයට කීය.

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසුවේ එළැඹෙන 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නාමයෝජනා ලබාදීමට නියමිත බවය. ඒ සඳහා වන නාමයෝජනා ලැයිස්තුව මේ වනවිට සකසා ඇති බවද හෙතෙම පැවසීය. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි බලවේගයේ නාමයෝජනා ලබන 18 සහ 19 යන දෙදින තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයකු දේශයට කීය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම පසුගිය 12 වැනිදා ආරම්භ වූ අතර එය ලබන 19 වැනිදායින් අවසන් වීමට නියමිතය.

(Lanka Leads)