Thursday, May 16, 2024
Follow Us
හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ගෙන ඇති පියවර අගමැති පහදයි

කොරෝනා වෛසරය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එක්වරම පුද්ගලයින් දහසක් නිරෝධායනය කිරීමට හැකියාව පවතින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි.

කොවිඩ් 19 වෛරසය පැතිරයාම, ඉන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුව ඇති බලපෑම සහ හදිසි තත්ත්වයකට මුහුණදීම සම්බන්ධයෙන් වූ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවට අමාත්‍යවරුන්,ලේකම්වරුන්, වෘත්තීය සංගම් නියෝජිතයින් සහ ව්‍යාපාරික ආයතන ප්‍රධානීන් එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, ඇඟළුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනයක පමණ රෙදිපිළි චීනයෙන් ආනයනය කරන අතර ගෙවී ගිය මාසය තුළ අමරිකානු ඩොලර් මිලියන 500ක පමණ නිෂ්පාදන ධාරිතාවක් මෙරටට අහිමිවී ඇති බව එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇති බවයි.

ඒ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා රජයෙන් සහන සැලසීම සම්බන්ධයෙන් ද අවධානය යොමු ව තිබුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යම්කිසි හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා අවශ්‍යය මුඛ ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍යන්හි නිෂ්පාදන වැඩි කිරීම සඳහා ද පියවරගෙන ඇති බවයි.

(Lanka LEads)